.
වන ඉඩම් සම්බන්ධයෙන් සහ අලි–මිනිස් ගැටුමට විසඳුම් සෙවීම සම්බන්ධයෙන් 2022 වසරේදී ශ්රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවක් තිබියදීත්, නාකොළගනේ ප්රදේශයේ අලි වැටවල් දෙකක් යළි ඉදිකිරීමට සැලසුම් කර තිබීම පිළිබඳව පරිසර යුක්ති කේන්ද්රය (CEJ) සිය කනස්සල්ල පළ කර තිබේ.
පරිසර යුක්ති කේන්ද්රයේ විධායක අධ්යක්ෂ හේමන්ත විතානගේ පැවසුවේ ගම්වාසීන් සිය කැමැත්තෙන්ම එම අලි වැටවල් ඉවත් කර තිබූ නමුත්, මෑතකදී නැවතත් අලි වැටවල් දෙකක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවයි.

හේමන්ත විතානගේ
අම්බවත්ත සහ අතුරගල්ල වැනි ප්රදේශවල තවමත් අලි වැටවල් පවතින බව පැවසූ ඔහු, අවශ්ය ස්ථානවල එම වැටවල් ඉවත් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසත්, ශ්රේෂ්ඨාධිකරණ තීන්දුව සම්පූර්ණයෙන් ක්රියාත්මක කරන ලෙසත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
මෙම ගැටලුව සම්බන්ධ වී ඇත්තේ නකොළගනේ ප්රදේශයේ අලි–මිනිස් ගැටුමෙන් සහ වන ඉඩම් පිළිබඳ ආරවුල්වලින් පීඩාවට පත් ප්රදේශවාසීන් වෙනුවෙන් පරිසර යුක්ති කේන්ද්රය විසින් ගොනු කරන ලද නඩුවකටය.
2022 වසරේ SCFR 350 දරන නඩුව සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවේ සිව්වැනි නියෝගය මගින්, මිනින්දෝරු ජනරාල්වරයාගේ සිතියමේ හඳුනාගෙන ඇති වන ප්රදේශය සහ වී වගාවට හා හේන් වගාවට යොදාගන්නා හෙක්ටයාර 55 ක භූමි ප්රමාණය ඇතුළත් ප්රදේශය, වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 2(2) වගන්තිය යටතේ අභයභූමියක් හෝ කළමනාකරණය කරන ලද අලි රක්ෂිතයක් ලෙස ප්රකාශයට පත් කිරීම නිර්දේශ කර ඇති බව හේමන්ත විතානගේ වැඩි දුරටත් පැවසීය.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පරිසර අමාත්යාංශය එක්ව හෙක්ටයාර 600කට වැඩි භූමි ප්රමාණයක් අලි ගමන් මාර්ගයක් හෝ අභයභූමියක් ලෙස ප්රකාශයට පත් කිරීම සඳහා යෝජනා කරමින් කැබිනට් පත්රිකාවක් ඉදිරිපත් කර ඇති බවද ඔහු සඳහන් කළේය.
පරිසර අමාත්යාංශයේ නිවේදනයකට අනුව, මෙම පියවර අලි ප්රහාරවලට මුහුණ දුන් ජනතාවක් ජීවත් වන නාකොළගනේ ප්රදේශයේ හෙක්ටයාර 4,000කට වැඩි භූමි ප්රමාණයක් සම්බන්ධයෙන් ගනු ලබන්නකි. මෙම ඉඩම් මීට පෙර අඹ, කොස් සහ පොල් වගාවන් සඳහා මෙන්ම සූර්ය බලශක්ති ව්යාපෘති සඳහාද භාවිත කර තිබේ. එම භූමිය අතීතයේ රාජකීය නියෝගයක් මගින් තමන්ට පවරා දී ඇති බව ( නින්දගමක් ලෙස) නාකොළගනේ පුරාණ රජමහා විහාරයට අනුබද්ධ භික්ෂූන් වහන්සේලා ප්රකාශ කර තිබිණි.
මේ සම්බන්ධයෙන් වයඹ පළාත් පරිසර අධිකාරිය, මධ්යම පරිසර අධිකාරිය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිසිය නිළ වශයෙන් දැනුවත් කර ඇති බව පරිසර යුක්ති කේන්ද්රයේ විධායක අධ්යක්ෂ හේමන්ත විතානගේ පැවසීය. අදාළ ශ්රේෂ්ඨාධිකරණ තීන්දුව ක්රියාත්මක කරන ලෙසත්, අලි–මිනිස් ගැටුමට විසඳුම් ලබාදෙන අතරතුර අදාළ වන ප්රදේශ ආරක්ෂා කිරීම සඳහා අවශ්ය පියවර ගන්නා ලෙසත් ඔහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.