කාවන්තිස්ස ඇතාගේ මරණයට වගකිවයුතු සියළු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනා ලෙස ඉල්ලා භික්ෂූන්වහන්සේලා, පරිසරවේදීන්, සමාජ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් අද පෙරවරුවේදී බත්තරමුල්ල සොබාදම් පියස අසල පරිසර අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වීය .
ශ්‍රී ලංකාවේ පමනක් නොව දකුණු ආසියාවේද විශාලතම ඇතා ලෙස සළකන කාවන්තිස්ස දැඩි තර්ජනයට ලක්වූ ඇතෙක් ලෙස කලක සිට පරිසරවේදීන් සහ ප්‍රදේශවාසීන් විසින් වගකිවයුතු පාර්ශවයන්ට පෙන්වාදී තිබුනි . එහෙත් එකී පාර්ශවයන් අවශ්‍ය කිසිදු පියවරක් නොගෙනීම නිසා ශ්‍රී ලංකාවේ මහ ඇතා ලෙස විරුදය ලත් කාවන්තිස්ස අකාලයේ දේශයට අහිමිව ගිය බව විරෝධතාවයට එක්වූවෝ පෙන්වා දෙති .
වෙඩි පහරකින් තුවාල ලැබ පශු වෛද්‍ය ප්‍රතිකාර ලබන අතර තුර සිදුවූ කාවන්තිස්ස ඇතාගේ මරණයේ වගකීම බාර ගනිමින් වනජිවී අධ්යක්ෂ ජනරාල්වරයා සහ විෂය බාර අමාත්‍ය ධම්මික පටබැඳි වහා ඉල්ලා අස්විය යුතු බව ඕවුහු පවසති . අලි ඇතුනගේ සංක්‍රමණ මාර්ග, තණ බිම් ඇතුළු වනාන්තර ඉඩම් මිනිසුන් අත්කර ගැනීම දිගින් දිගටම සිදුවන බවත්, දඩමස් ජාවාරම, ඇතුළු මිනිස් ක්‍රියාකාරකම් වනාන්තර තුළ සුලබ වීම නිසා අලි ඇතුන් සහ මිනිසුන් අතර ගැටීමක් ඇතිව තිබෙනා බවත් පෙන්වාදුන් විරෝධතාකරුවෝ මෙම තත්ත්වය විසඳිමට රජයට කිසිදු උවමනාවක් නැති බව පවසති .
මාධ්‍යට අදහස් දැක්වමින් ප්‍රකට වනජීවී ඡායාරූප ශිල්පියෙක් වන මංජුල පෙරේරා පැවසූවේ ජාතික උරුමයක් ලෙස ආරක්ෂා කරගත යුතුව තිබූ ශ්‍රි ලංකාවේ මහ ඇතා, කාවන්තිස්ස මේ ආකාරයෙන් අහිමිවීම මුළු රටම කම්පාවට පත්කළ සිදුවීමක් බවයි. මෙම වෙඩිතැබීම සිදුව දැනට මාසයකට ආසන්න කාලයක් ගතව ඇති බවත්, සැකකරුවන් අත් අඩංගුවට ගැනිමට හැකිවූයේ ඇතා මියගොස් දින දෙකකට පසු වීම බලධාරීන්ගේ අකාර්යක්ෂම බවට උදහරණයක් බවත් ඔහු පැවසීය .

මංජුල පෙරේරා
වත්මන් රජය බලයට පැමිණියේ රටේ සම්පත් රැකගන්නා බවට පොරොන්දු දී බවත්, රට සතු මහා සම්පතක් වන වනජීවීන් ගැන ඔවුන් දක්වන ආකල්පය කණගාටුවට කරුණක් බවත් ඔහු සඳහන් කළේය. කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත වගා බිම්වලට එන වනසතුනට කැමති දෙයක් කරන්නැයි ගොවීන්ට පැවසූ බව රටම දන්නා බවත්, එවන් වගකීමෙන් තොර ප්‍රකාශ අලි ඇතුන් ඝාතකයන්ට ධෛර්යක් වූ බවත් ඡායාරූප ශිල්පී මංජුල පෙරේරා පෙන්වාදුන්නේය .
ඉතිරිව ඇති අලි ඇතුන් ආරක්ෂා කර ගැනීම සඳහා වහා පියවර ගතයුතු බවත්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් පිටවන පශු වෛද්‍යවරුන් වනජීවී දෙපාර්තමේන්තුවට එක්කරගෙන පශු වෛද්‍යවරුන්ගේ ඒකාධිකාරිය බිඳ දැමිම යුතුබවද ඔහු පැවසීය .
මෙම සාමකාමී විරෝධතාවයට සමාජ ක්රියාකරීන්මෙන්ම ගල්ගමුව වැනි මිනිස් අලි ගැටුම සුලබ පළාත්වලින්ද පිරිස් සහභාගී වූ අතර තම පළාත්වලා සිදුකරනා තෘණභූමි සහ වැව්පිටි මිනිසුන් විසින් අත්පත් කරගැනීම් පිළිබඳව කෙතරම් කරුණු දැක්වූවත් වනජීවී බලධාරීන් ඒවාට සක්‍රීයව මැදිහත් නොවනා බවත්, අවසානයේ ජාවාරම් කරුවන්ගෙන් තමන්ට තර්ජන ඇතිවන බවත් ඕවුහු පෙන්වාදුන්හ.