සෑම වසරකම ජූලි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ රජරට කළාපයේ නියං තත්ත්වයක් පැවතීම සාමාන්‍ය තත්ත්වයක් වුවද, මෙවර පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් ප්‍රදේශයේ ජල මූලාශ්‍ර සීඝ්‍රයෙන් සිඳී යමින් පවතින බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය පැවසීය .
ඊයේ (31) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය .
මෙවර නියං තත්ත්වය වඩාත් උග්‍ර තත්ත්වයක් ගැනීම හේතුවෙන් රජරට ජන ජීවිතය බරපතල බිඳ වැටීමකට ලක්ව ඇති බවත්, ඊට අමතරව වැව් පොකුණු සිඳී යාම නිසා වනසතුන් සහ පරිසර පද්ධති බරපතල අවදානම සහිත තත්ත්වයකට පත්වෙමින් සිටිනා බවත් ඔහු සඳහන් කළේය .
අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුළු වාරි පද්ධතීන් 2,410 අතුරින් ජලාශ 788 කම ජලය සම්පූර්ණයෙන්ම වාගේ සිඳී ගොස් ඇති අතර තවත් වැව් 612 ක ජල මට්ටම 5%ට වඩා පහළ බැස ඇති බව ඔහු පැවසීය. මේ අතර, මුළු ජල ප්‍රමාණයෙන් 75%කට වඩා රඳා පවතින්නේ ප්‍රධාන වැව් 7ක පමණක් බවද පැවසීය.
ජල මූලාශ්‍ර මෙලෙස දැඩි ලෙස සිඳීයාම හේතුවෙන් පානීය ජලය සොයාගැනීම දුෂ්කර වී ඇති අතර, කෘෂිකාර්මික කටයුතුවලට මෙන්ම වනසතුන්ගේ ජල අවශ්‍යතා සපුරා ගැනීමටද දැඩි බාධා එල්ල වී ඇත. මෙම තත්ත්වය නිසා ඇතිවන පීඩාවන් අවම කරගැණීම සඳහා වනාන්තර ආශ්‍රිත ජල මූලාශ්‍ර වෙත බාහිරින් ජලය සැපයීමට සහ කෘතිම ජලා රැඳවුම් ඉදිකිරීම පිළිබඳව වගකිවයුත්තන් ගේ අවධානය යොමුවිය යුතුබව පරිසර වේදීහු පෙන්වා දෙති .