ලොව වැඩිම වශයෙන් නීති විරෝධී ජාවාරමට ලක්වන ක්ෂීරපායී සතුන් අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නා කබල්ලෑවා (Pangolin) සංරක්ෂණය සඳහා දකුණු ආසියානු රටවල් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම අරමුණු කරගත් කලාපීය වැඩමුළුව පසුගියදා නේපාලයේ කත්මණ්ඩු හී පැවැත්විනි .
දින හතරක් පුරා පැවැත්වති දකුණු ආසියානු කබල්ලෑ සංරක්ෂණය පිළිබඳ කළාපීය වැඩමුළුව (RWPC 2026) සඳහා දකුණු ආසියා කළාපයේ රටවල් රැසක් නියෝජනය කරමින් සංරක්ෂණ ප්‍රතිපත්ති සම්පාදකයින්, වනජීවී නීති ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන්, විද්‍යාඥයින්, පර්යේෂකයින් සහ සංරක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයින් එක්ව සිටිහ . දකුණු ආසියාවේ කබල්ලෑ ගහනය ශීඝ්‍රයෙන් පහළ යමින් පැවතීම මෙහිදී දැඩි අවධානයට ලක්විය .
වර්ධනය වෙමින් පවතින කබල්ලෑවන් මුහුණ දෙන තර්ජන සහ ඔවුන්ගේ ආහාර සහ වාසස්ථාන අහිමිවීම එහිදී අවධානයට ලක්විය . ඊට මුහුණ දෙනුවස් කළාපීය සහයෝගීතාව වර්ධනය කිරීම, දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම සහ ඒකාබද්ධ සංරක්ෂණ ක්‍රමෝපායන් සකස් කිරීම පිළිබඳව සමුළුවට සහභාගීවූවෝ සිය අවධානය යොමුකළහ .
නීති විරෝධී වනජීවී වෙළෙඳාම මැඩපැවැත්වීම, සංරක්ෂණ ප්‍රතිපත්ති වැඩිදියුණු කිරීම, නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණ ශක්තිමත් කිරීම සහ කබල්ලෑවන්ගේ ගහනය හා වාසස්ථාන පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ පුළුල් කිරීම සඳහා කලාපීය සහයෝගීතාව ගොඩනැගීම සඳහා වන එකඟතාවයකට පැමිණිමේ හැකියාව එහිදී සාකච්චාවට ලක්විය .
විවිධ රටවලින් පැමිණි පාර්ශ්වකරුවන්ට තම අත්දැකීම් සහ සාර්ථක සංරක්ෂණ ක්‍රමවේද හුවමාරු කර ගැනීමට මෙන්ම ජාතික දේශසීමා ඉක්මවා කබල්ලෑවන් ආරක්ෂා කිරීම සඳහා ඒකාබද්ධව ක්‍රියා කළ හැකි අවස්ථා හඳුනා හඳුනාගැනීම මෙහෙදී සිදුවිය .
IUCN Pangolin Specialist Group, South Asia Wildlife Enforcement Network (SAWEN), ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව, Pangolin Crisis Fund සහ Save Pangolins ඇතුළු ප්‍රධාන සංරක්ෂණ ආයතනවල සහයෝගයෙන් මෙම වැඩමුළුව සංවිධානය කර තිබුනි .
කබල්ලෑ විශේෂ කිහිපයක ආරක්ෂාව සඳහා දකුණු ආසියානු කළාපය තීරණාත්මක වැදගත්කමක් සහිත එකක් බැවින් නිරන්තර දැනුවත් කිරීම් මගින් වැඩි අවධානයක් කබල්ලෑවන් සංරක්ෂණයට යොමුකිරීමට තීරණය විය .