දියගම වනාන්තරයේ රතු උණහපුළුවා පාර්ලිමේන්තුවට යයි.

දියගම වනාන්තරයේ රතු උණහපුළුවා පාර්ලිමේන්තුවට යයි.

 

හෝමාගම ප්‍රාදේශීය ලේකම්ට හිමිකාරීත්ත්වය සහිත හෝමාගම දියගම තිත්ත ඇට මූකලාන කඩිනමින් වන රක්ෂිතයක් ලෙස ගැසට් කරනා ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා පැවසීය . පාර්ලිමේන්තුව අමතමින් ඔහු පැවසූවේ මෙම වනාන්තරය අක්කර පහක් දහයක් ලෙස ඇතැම් පාර්ශව අර්ථ දැක්වූවද එය අක්කර 24 ක් සහ අක්කර 26 ක කොටස් දෙකකින් ‍යුක්ත බවත් සමස්ත බිම් ප්‍රමාණය අක්කර 50 ක් බවත් ය.

කොළඹ දිස්ත්‍රික්කයේ ඉතිරිව ඇති නගරයකට වඩාත් සමීප තෙත් බිම මෙය බවත්, එය බොල්ගොඩ ජලාශයේ ජල පෝෂිත ප්‍රදේශයක් බවත් ඔහු සඳහන් කළේය . ඊට අමතරව මෙම වැසි වනාන්තරය ගංවතුර පාලනයට විශාල මෙහෙයක් කරනා බව පෙන්වාදුන් මන්ත්‍රිවරයා බේස්බෝල් ක්‍රීඩාංගණයක් සහ නේවාසිකාගාරයක් ඉදිකිරීම වෙනුවෙන් මේ වනානතරයෙන් කොටසක් යොදාගැනීමේ සූදානමක් පවතින බව පෙන්වාදුන්නේය .

ප්‍රමාණයෙන් අක්කර 50 කට සීමාවී තිබුනද මෙහි ජෛව විවිධත්ත්වය ඉතා ඉහළ අගයක් ගන්නා බවත්, ශ්‍රී ලංකාවට ආවේණික ශාක වලින් 12.6% ද සත්ත්ව විශේෂවලින් 11.6% ද දියගම ''තිත්ත ඇට මූකලානෙන්'' වාර්තා වනබවත් මන්ත්‍රීවරයා පැවසීය .

දියගම තිත්ත ඇට මුකලාන වනාන්තරයේ ජෛව විවිධත්ත්වය ගැන වැඩි දුරටත් කරුණු දක්වූ ඔහු ශ්‍රී ලංකාවට ආවේණික දුලබ ක්ෂීරපායි සතුන් වන රතු උණහපුළුවා සහ දම්පැහැ මුහුනැති කොළ වඳුරා මෙහි වාර්තාවන බවත්, ඊට අමතරව හඳුන් දිවියාද මෙහි වාර්තාවන බවත් පැවසීය . තවත් පක්ෂී මත්ස්‍ය සහ උරග විශේෂ ගනනාවක් සහ ශාක විශාල ප්‍රමාණයක් වාර්තාවන මෙම සුවිශේෂී පාරිසරික කළාපය කඩිනමින් වන රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කර අනාගතයේ එහි පැවැත්ම තහවුරු කරනා මෙන් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය .

අතීතයේදී මෙම බිම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කෙටි තරංග විකාශනාගාරය ලෙස යොදාගත් බවත් එවකට එය අක්කර 250 කින් සමන්විත භූමියක් බවත් ඔහු පැවසීය . කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සම්පත් සෙනවිරත්න සහ මහාචාර්ය සුධීරා රණවක ප්‍රමුඛ පර‍යේෂකයන් මෙම වනාන්තරය ගැන හදාරා ඇති බවත් ඔවුන් සහ විෂය ප්‍රාමාණිකයන් තිත්ත ඇට මුකලාන සහ එහි ජෛව විවිධත්ත්වය ගැන පලකර ඇති පරයේෂණ පත්‍රිකා ආදිය අනාගතයේදී පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට තමා බලාපොරොත්තු වෙන බවද ඔහු පැවසීය . 

එමෙන්ම Urban biodiversity alliance , Green Jacket, Wildlife and nature protection society ( WNPS ) වැනි සංවිධාන ප්‍රදේශවාසීන් සමග එක්ව මේ වැසිවනාන්තර රැක ගැනීමට සටන් කරනා බවත් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පැවසීය . මෙය අළුත් වනාන්තරයක් ලෙස ඇතැමුන් පැවසූවද ඉතා පැරණි ඔප්පු පරීක්ෂාකිරීමෙදී මායිම් ලෙස ''තිත්ත ඇට මූකලාන'' නම් කර ඇති බවත්, මෙය කිසිසේත් අළුත් වනාන්තරයක් නොවනා බවත් ඔහු පැවසීය . 

මෙතරම් වටිනා බිම් කඩක් ප්‍රාදේශීය ලේකම්වරයෙක් හෝ ක්‍රීඩා අමාත්‍යංශය යටතේ පැවතීම එහි අනාගත පැවැත්මට තර්ජනයක් බවත් එබැවින් ''තිත්ත ඇට අමූකලාන'' නොහොත් දියගම වනානතරය වහාම වන රක්ෂිතයක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත්කර එහි අනාගත පැවැත්ම සහතික කරනා මෙන් ඔහු ඉල්ලා සිටියේය. 

 

    

 

Leave a Comment

Comments

  • No comments yet. Be the first to respond.