සපරගමුවත් සිරිපා හිමයත් එකින් එක වෙන් කරන්නට බැරි තරම්ය . සපරගමුවේ ඇදහිළි, විශ්වාස ජනකතා බහුතරයක් සිරිපා හිමය, සිරිපතුල සහ සමන් දෙවියන් මුල්කර නිර්මාණය වීම ඊට කදීම නිදසුනකි. දෝතළු රත් දෝතළු වීම එවැනි එක් ජනප්‍රවාදයකි . එකී ජනප්‍රවාදයට අනුව ශ්‍රී පාද පද්මය පිහිටවීමට සමන්ත කුඨයට වැඩි බුදුරජානන් වහන්සේට සමන් දෙවියන් විසින් සමනල අඩවියෙන් නෙළා ගත් දෝතළු මල් පූජා කර තිබේ . එසේ පූජා කරන ලද දෝතළු මල් බුද්ධානුභාවයෙන් ඒවා රත් පැහැ ගැන්වුණු බව සබරගමු වැසියෝ අදටත් විශ්වාස කරති. වර්තමානයේ රන් දෝතළු හෝ රත් දෝතළු නමින් ව්‍යවහාර කරනා ශ්‍රී ලංකාවට ආවේණික ශාකය බුදුරජාණන් වහන්සේට, සමන්ත කූඨයට සහ සමන් දෙවියන්ට බැඳී ඇත්තේ එසේය.

විද්‍යාත්මකව Loxococcus rupicola යන නාමයෙන් හඳුන්වන රන් දෝතළු ශාකය තාල (Plame) කුළයට අයත් ය. 2012 රතු දත්ත ලැයිස්තු වෙහි EN හෙවත් වඳවී යාමේ තර්ජනයට ලක් වූ විශේෂයක් ලෙස වර්ගීකරණය කොට ඇති ශාක විශේෂයක් වන රත් දෝතළු, 2009 අංක 22 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනත මගින් VIII උපලේඛනය යටතේ ආරක්ෂිත ශාක නාම ලේඛනයට ඇතුලත් කොට තිබේ . මීටර් 1500 දක්වා වන කඳුකර වනාන්තර සහ පහතරට තෙත් කළාපයේ ශේෂව ඇති වැසිවනාන්තර කිහිපයකට පමණක් සීමාවී ඇති රන් දෝතළු ශකය සපරගමුවේ ඇතැම් ගෙවතුවලද හමුවේ. නෛතික වශයෙන් රත් දෝතළු කෙතරම් ආරක්ෂිතදැයි පැවසූවහොත් ඔබේ ගෙවත්තේ රත් දෝතළු ගසක් ඇතොත් එහි මල් කැඩීමට ඔබට අවසර නැත . එහෙත් අවාසනාවකට මෙන් ආගමික කටයුතුවලට යොදාගැනීම ඉහළයම නිසා මෙම ශාකයට නවතම තර්ජනයක් මතුව ඇත .
විශේෂයෙන්ම රත් දෝතළුමල් සඳහා සිරිපා සමයේදී සැලකිවයුතු ඉල්ලුමක් බිහිවීම මෑතකාලයේ සිට නිරීක්ෂණය වන්නකි . දුර්ලභම පුෂ්පයන්ගෙන් බුදුන් පිදීම ඉහළ පිනක් ලැබෙනා බවට වන වැරදි අවබෝධය නිසා ඇතැම් බෞද්ධයෝ කොපමණ මිලක් ගෙවා හෝ රත් දෝතළු මලක් පුජාකිරීමට මැළිවෙන්නේ නැත . විශේෂයෙන්ම සිරිපා සමයේ සිරිපතුලට රන් දෝතළු මලක් පුජා කරන්නට වෙහෙසෙන්නෝ බොහෝය. එම නිසා ඇතැම් පුද්ගලයන් සිරිපා හිමේ දින දෙක තුන ගතකරමින් රත් දෝතළු මල් ගෙනවිත් බැතිමතුනට අලවි කරති . පසුගියදා රත් දෝතළු මල් 10 රැගෙන යතුරු පැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනෙක් රත්නපුරයේදී වනජීවී නිළධාරීන් විසින් අත් අඩංගුවට ගැනීම කියා පාන්නේ රත් දෝතළු මලට ඇති අධික ඉල්ලුමයි. සෙනසුරු අපලය දුරු කිරීමට රත් දෝතළු පූජාකිරීමට ඇතැමුන් පුරුදුව සිටිති . එහෙත් රත් දෝතළු මලක් පූජා කිරීමේදී හෝ ලඟතබා ගැනීමේදි ඔබ වනජිවී නිළධාරියෙකු විසින් අත් අඩංගුවට ගතහොත් ඔබේ සෙනසුරු අපලය පටන් ගන්නේ එතැන සිට බව සිහි තබාගැනීම වැදගත් ය.
අප එදිනෙදා බුලත් විටට යොදාගන්නා පුවක් ලෙස රත් දෝතළුද බීජ (ගෙඩි) මගින් බෝවීම සිදු වේ. මල් කපා ඉවත්කිරීම නිසා ගෙඩි මගින් බෝවීමට බාධා පැමිණේ. රත් දෝතළු පැල තවාන්වල බෝ කිරීම සාර්ථක නොවනා අතර එම අරමුණින් මල් කපාගන්නා හෝ බීජ ලග තබාගන්නා අයටද එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක වෙයි . ඔබ එතරම් බරපතලට නොසිතූවද රත් දෝතළු පූජාකිරීමෙන් ලැබෙනා පිනට වඩා නීතිය හමුවේ ලැබෙනා දඬුවම සැරය . එය දෑවසරක් බන්ධනාගාර ගතවීමක් දක්වා දුර යා හැක.
කෙතරම් තදින් නීති ක්‍රියාත්මක වුවද රත් දෝතළු ජාවාරම තවමත් ජයටම ක්‍රියාත්මක වේ. අධික මිලක් ගෙවා රත්දෝතළු මලක් පූජා කරනා ඇතැම් සැඳැහැවතුන් තමන් වංචනිකයන්ගේ උගුලක අසුවූ බව දන්නේ නැත . මේ ආකාරයෙන් පූජා කරනා රත් දෝතළු මල්වල ඉරණම විසදෙන්නේ අපූරු ආකාරයටය. අලංකාරව රක්ත වර්ණයෙන් බබලන රත් දෝතළු මල ජීවිතයේ අනියත බව මේ යයි කියාපාමින් සිරිපා පද්මය ලඟ පරව යන්නේ නැත. පූජාකළ බැතිමතා උඩ මළුවෙන් පහළට බසින්නටත් පෙරම රත් දෝතළු මල තැරැව්කරුවෙක් විසින් පහතට ගෙන එයි. එහෙස රැගෙන එන රත් දෝතළු මල තවත් බැතිමතෙකු හිසේ තබාගෙන උඩමළුවට ගෙනගොස් පූජා කරයි . මේ ආකාරයෙන් එකම රත් දෝතළු මල හත් අට වතාවක් උඩ පහළ යන බව ඊට දහස් ගනනින් මිළ ගෙවනා බැතිමතුන් දන්නේ නැත. රත් දෝතළු මලක් අතැතිව සිටිනා විට ඔබ වනජීවී නිළධාරියෙක් විසින් අත් අඩංගුවට ගතහොත් මල විකිණූ පුද්ගලයා සැනින් අතුරුදහන් වන්නේය. තනිව දඬුවම විඳීමට ඔබට සිදුවන්නේය .
රත් දෝතළු පූජාව සාමන්‍ය ජනයාට සීමාවූවක් නොවේ . හිටපු ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ සිය පවුලේ සහෝදරයන් සමග වරක් අනුරාධපුර රුවන් වැලි සෑයට රත් දෝතළු මල් ප්‍රසිද්ධියේ පූජා කළේය . රටේ සම්පත් රකින්නට දිවුරුම් දී සිටිනා ජනාධිපතිවරයා විසින් එවැනි තහනම් මලක් පූජා කිරිම රටටම වැරදි ආදර්ශයක් ගෙන දුන් අවස්ථාවකි . එහෙත් ඊට එරෙහිව නිතිය ක්‍රියාත්මක වූයේ නැත. දුලබ ආවේණික ශාකයක් වූ රත් දෝතළු රැක ගැනීමට මහා සංඝ රත්නය සහ දේවාල වල කපු මහතුන්ටද වග කීමක් ඇත . රත් දෝතළු මල් බුදුන්ට පූජා කිරීමෙන් අමුතු පිනක් නොලැබෙන බවත්, සෙනසුරු අපල දුරු නොවනා බවත් බැතිමතුනට පැහැඳිළි කිරීම මගින් ඒ වගකීම ඉටුකළ හැක.