රතුගල නව ආදිවාසී  නායකයාට වැදි භාෂාව කථා කරන්න බැරිද .

රතුගල නව ආදිවාසී නායකයාට වැදි භාෂාව කථා කරන්න බැරිද .

ආදිවාසී ජනතාව නැත්නම් වැදි ජනතාව මෙරටේ ආදිතමයින් වුවත් සෑම අවස්ථාවකම ඔවුන් තලාපෙලා පහත් කරමින් කතා කරන්නට බහුතරයක් පුරුදුව සිටින බව පෙනේ. එයට හේතුව ආදිවාසියෙක් නැත්නම් වැද්දෙක් කී සැනින් බොහෝ දෙනෙකුගේ සිතේ ඇඳෙන්නා  එක් කරක  පොරෝ කෙටියක්ද, අනක් කරේ  ලෙන්සුවක්ද දමාගෙන සරොම් කෙටියකින් සැරසුන පුද්ගලයෙකුගේ රෑපයකි . ඉන් බාහිරව ආදිවාසියෙකු ගැන සිතන්නට තවමත් බොහෝ දෙනෙකුට නොහැකිව ඇත්තේය . එහෙත් අදින් වසර හතලිස් දහසකට පෙර කාලයක සිට මෙරට ජීවත්වූ බලංගොඩ මානවයාගෙන් පැවත එන ලක්දිව ආදිවාසි ප්‍රජාව විවිධ පරිනාමයන්ට භාජනය වෙමින් පැමිණ අද මේ තත්වයෙන් සිටී. ඔවුන්ගේ සුපුරුදු ජීවනෝපායන් වෙනස් වීමෙන්ද පරපුරෙන් උරුම වනය අහිමිවීමෙන්ද නවීන සමාජයට අකමැත්තෙන් වුවද පිවිසෙන්නට  සිදුව ඇත. එය වරදක් නම් එහි විත්ති කරුවෝ අප මිස බලහත්කාරයෙන් වනයෙන් පිටතට ආදිවාසීහු නොවෙත්.


                                               
ආදිවාසීන්ගේ මෙම වෙනස්වීම නොහොත් සමාජ පරිනාමය නිතර නිතර කතාබහට ලක් වුවත්  එවැනි කථාබහට පිළිතුරු බඳින්නට තරම් වත්මන් ප්‍රධාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියැලැත්තෝ ඉක්මන් වන්නේ නැත. එහෙත්  මේ මස 07 වෙනි දින මියැදුන  රතුගල ආදිවාසි නායක  දානිගල මහ බංඩාරලාගේ සුදා වන්නියලැත්තන්ගෙන් පසු රතුගල ආදිවාසී ප්‍රජාවේ නායකත්වයට පත් දානිගල මහ බංඩාරලාගේ නිශාන්ත කුමාර පත්වීමෙන් පසු නැවතත් ආදිවාසීන්ගේ කෑම බීම, භාෂාව, ඇඳුම සහ පසුවේ රෝමකූප, ඔහුගේ මුහුණ පුරා ඇති රැවුල පිළිබඳව විවිධ කතා සමාජ මාධ්‍ය තුළ පැතිරෙන්නට විය . එසේම ඇතැම් පුවත්පත්වලද සාවද්‍ය තොරතුරු තිබූ බවට ප්‍රධාන ආධිවාසී නායක වන්නියලැත්තන් චෝදනා කරයි. එසේම යම් කළතිරීමකින් සිටින හෙතෙම කතා කළේද කෝපයෙන්ය. පහත පලවන්නේ කළකිරීම  මුසුවූ ඔහුගේම වදන්ය.

 

ඌරුවරිගේ වන්නියලැත්තෝ

 

"මේ ඇත්තන්ගෙ කෝමන්තැන, කැවිල්ලන එකමවල්, රුකුල් පොජ්ජ ගැන කතා දමන  මේ රට පොජ්ජෙ රඳන හූරලා නෑනිලා ඈත කාලමැච්චෙ ඉඳ තිබාලා මංගච්චන එකමවල් කැවිල්ලනවද. ඒ ඇත්තන්ගෙ කෝමන්තැන වෙනස් තැනට මංගච්චලා. සුදු හූරන්ගෙ කෝමන් තැන වටාගෙන , රුකුල්පොජ්ජවල් වෙනස් තැනට මන්දො කොරාගෙන පරම්පරාවෙන් මංගච්චන ඇත්තන් වෙන මේ ඇත්තන්ලට කතා පොජ්ජවල් හැදුම්පොජ්ජ  මන්දොකරනවා. මේ ඇත්තො කතා දමනවා සංස්කෘතික පොජ්ජ කියලා කතා දමන එකමවල් කාල මැච්චෙන් කාල මැච්චට වෙනස්තැන මන්දො වෙනවා. ඒ තැනට මංගච්චන්න කොදොයි උනා නම් ඒ තැන කතා දමන මේ රට පොජ්ජෙ  හූරලත්, නෑනිලත්  මේ කාල මැච්චට වෙනස් තැනින් ඇහි රුකුලට මන්දොවෙන්න ඇත්තකයි. මේ ඇත්තො  රුකන්පොජ්ජෙ අතු පොජ්ජවල් එල්ලුම් පොජ්ජ මන්දො කොරාගෙන ගල්රුකුල් පොජ්ජවල රඳන්න කියලද කතා දමන්නෙ.''
 
එහි සිංහල පරිවර්තනය.                                                    
( "අපේ ඇඳුම්,කන දේවල්, ගෙදර  ගැන කතා කරන  මේ රටේ ජනතාව අතීතයේ ඉඳන් පැවතගෙන ආව දේවල්මද කන්නෙ. ඇඳුම් වෙනස්වෙලා. සුද්දන්ගෙ ඇඳුම් අඳින්නෙ. ගෙදරදොර වෙනස් වෙලා. ඒ උනත් ආදිවාසීන් වෙන අපිට හිනාවෙනවා. කතා හදනවා. මම කියනවා ඒ  කතා හදන හිනාවෙන අයට සංස්කෘතිය කියන දේ  කාලෙන් කාලෙට තම ජීවනෝපාය අනුව වෙනස් වෙනවා කියලා.  එහෙම නූනා නම් ඔය කතා හදන ජනතාවත් අද අපිට දකින්න වෙන්නෙ  ඔය අද ඉන්න විදියට නෙවෙයි. අපේ ආදිවාසී අය අතුකෑලි එල්ලාගෙන ගල්ගුහාවල තමයි ඉන්න වෙන්නෙ.'')
                                                
                                                
ඒ පසුගියදා ආදිවාසීන් අතරින් සමුගත් රතුගල, නිල්ගල, දානිගල යන ප්‍රදේශයන් පාලනය කරමින් බිබිල මැතිවරණ ප්‍රදේශයේ ජීවත්වූ ප්‍රාදේශීය ආදිවාසී නායකයකු වූ  දානිගල මහබංබාරලාගේ සුදාවන්නියලැත්තන්ගෙන් පසු පිය උරුමයෙන් හිමිවූ ප්‍රාදේශීය නායකයා  වන්නේ ඔහුගේ පුත් දානිගල මහ බංඩාරලාගේ නිශාන්ත කුමාරය. ඔහු රතුගල, ගල්ගමුව විදුහලෙන් අධ්‍යාපන පොදු සහතිකගත්‍ර සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලද අයෙකි. ඔහු දැනට රතුගල ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය කරයි. රැකියාවට යන ඔහු අද කාලයට ගැළපෙන ආකාරයට කලිසමත්, කමිසයත් අඳින අයෙක් වන අතර ඔහු කතා කරනුයේ සිංහල භාෂාවයි. 

මියගිය රතුගල නායකයාගේ මළගම අවස්ථාවේ ඊළඟ නායකයා පිළිබඳව සාකච්ජා කිරීම සිරිත බැවින් එම සාකච්ජාව ප්‍රධාන ආදිවාසී නායකයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඔහුට තව පිරිමි සහෝදරයින් දෙදෙනෙක් සිටියද ඒ අය සමඟ සසඳා බලා ආදිවාසී පරපුරේ නායකත්වයට සුදුසු පුද්ගලයා ලෙස නිශාන්ත  කුමාර තීන්දු කර ගන්නා ලදි. එයට හේතු වූයේ  ඔහුගේ ගතිගුණ, යහපැවැත්ම සහ විනය ගරුක බවයි. 

රතුගල හිටපු ආදිවාසි නායක සුදා වන්නියලැත්තන් සහ නව නායක නිශාන්ත කුමාර

දුසිරිත්වලින් තොර කීකරු තරුණයෙක්වූ නිශාන්ත කුමාරට අවවාද අනුශාසනා කර තමාගේ ඇසුරේ තබාගනිමින් පරපුරේ නායකත්වයේ වගකීම් පුහුණු කළ හැකි බවත්, ඊට අවශ්‍ය  හික්මීම ඔහු සතු බැවින්  ප්‍රධාන ආදිවාසී නායකයා ලෙස තමාද රතුගල ආධිවාසී ප්‍රජාවේ නායකත්ත්වය නිශාන්ත කුමාරට ලබදෙනවාට කැමැත්ත ලබාදුන් බව වන්නියැලැත්තෝ පවසති .  සුදා වන්නියලැත්තන් මිහිදන් කළ සොහොන අභියසදී තමා ඉදිරියේ පරපුරේ ගෞරවය රකිමින් නායකත්වය භාර ගන්නා බවට නිශාන්ත කුමාර පොරොන්දුවූ බවද ඔහු පැවසීය.
                                          
සමාජ මාධ්‍යන්ගේ පලවන හරසුන් පුවත් ගැන ප්‍රධාන ආදිවාසි නායකයා මෙසේ පවසන්නේය . ''ඔහුගේ පපුවේ රෝමකූප පිළිබඳව  පවා අපහාසවන ආකාරයේ කතා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ හැමෝටම  පැහැදිළි වකියනවා  එක් එක් අයගේ හෝමෝන ක්‍රියාකාරිත්වය අනුව එහෙම වෙන බව. නිශාන්ත කුමාර සුදා වන්නියලැත්තන්ගේ පුතෙක් වෙනවා මෙන්ම රන්දුනු වන්නියාගේ මුණුබුරෙක් වෙනවා.  ඔහු සීයා, රන්දුනු වන්නියාවගේම අපේ භාෂාව ඉගෙන ගෙන රතුගල පරපුරට නිසි නායකත්වයක් ලබා දෙන බවට මට හොඳටම විශ්වාසයි .'' 
                                         
ඉදිරියට එන වරිග සභාවෙදි පරම්පරාවට ගැළපෙන නමක් ඔහුට ලබා දෙන අතර දැනට අඳින කලිසම වෙනුවට සරමකින් සැරසී තම ජීවන වෘත්තිය කරගෙන යාමට අවසර දුන් බවත් මෙම මස 17 වෙනි දින ඔහුගේ නිවසේදී තමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ජාවක් පැවැත්වෙන අතර එහිදී ඔහුගේ ආදිවාසී භාෂා දැනුම පිළිබඳව කතා කිරීමටත්, ආදිවාසී උත්සව සහ සාකච්චජාවලට සහභාගී වන විට පරපුරේ ඇඳුම වන සරම් කෙටියත්, ලෙන්සුවත්, පොරෝ කෙටියත් අමතක නොකරන ලෙසටත්  ඔහු දැනුවත කිරීමට  තමා අදහස් කරන බවත් ප්‍රධාන ආදිවාසී නායකයා පැවසීය.
   
                                                  
සීතල වන්නියෙ පරපුරෙන් පැවත එන රතුගල ආදිවාසී පරපුර කීර්තිමත් පරපුරකි. අතීතයේ ටූටා නම් ආදිවාසී නායකයාගෙන් ඕවුහු පැවත එති.  පසුකාලයක හඳුනා  වන්නියලැත්තන්  සහ  මන්දි  යන දෙපලගේ තෙවෙනි දරුවාවූ  රන්දුනු වන්නියාට එම ප්‍රදේයේ නායකත්වය ලැබුණේද පිය උරුමයෙන්මය.  රන්දුනු  වන්නියා ද රතුගල, නිල්ගල, දානිගල යන බිබිලේ ආදිවාසී ගම්මානයන්ට නායකත්වය දුන් එඩිතර නායකයෙකි. මේ කාලය වෙද්දී කඩිනම් මහවැලි ව්‍යාපාරය ආරම්භ වී අනේකවිධ දුක් ගැහැටයන්ට මුහුණ දුන් ඔහුට එම ගැටලුවෙන් ආදිවාසීන් මුදවා ගැනීමට නොහැකි විය.  වත්මන් ප්‍රධාන ආදිවාසී නායකයා යටතේ  වසර දෙකකදී ආදිවාසී දින  දෙකක් වෙනුවෙන් වරිග සභාවලටද සහභාගී වූ රන්දුනු වන්නියාගේද පපුවේ  රෝමකූපයන්ගෙන් පිරුණු ඝණ රැවුලකටද උරුමකම් කීව අයෙකි. ඔහු මිය යාමෙන් පසු 2005 වසරේදී  පිය උරුමයෙන් නායකත්වය ලැබූ  සුදුබංඩියා  නැමැති අය ඔවුන්ගේ පරපුරේ  නීති රීති අනුව  සුදා වන්නියලැත්තන් ලෙස නායකත්වයට පත්විය. එදා මෙදාතුර කාලයේ  ආදිවාසී ජනයා වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසවූ සුදාවන්නියලැත්තන්ද කඩිනම් මහවැලියේ අනිසි ප්‍රතිඵල නිසා වේදනාවෙන් මිය ගිය අයෙකි. 

පරපුරට ඉමහත් ලෙන්ගතුකමක් දැක්වූ සුදා වන්නියලැත්තන්  පරපුරේ සිරිත් විරිත් සියල්ල ආරක්ෂා කළද ආදිවාසී භාෂාව හුරු කර නොගත් අයෙකි. ඊට හේතුව නූතන ජනාවාස කරණය හේතුවෙන් වැදි ජනයාගේ භූමීය අනන්‍යතාවය බිඳ දැමීම මිස අනෙකක් නොවේ . සිංහල දෙමළ සමාජයකට බලහත්කාරයෙන් ආදීවාසීන් ඇද දමා ඔවුන්ගෙන් ආදී වාසී භාෂාව පමණක් බලාපොරොත්තු වීම විහිළුවකි. 

පොරෝ කෙටිය කරේ දාගෙන ලෙන්සුව කරට දැම්මද සුදා වන්නියැලැත්තන් සිංහලෙන් කථා කිරීමට හේතුව ඒකය . එහෙත් ඔහුගේ එම පුරුද්ද වත්මන් නායක නිශාන්ත කුමාර වෙනස් කළ යුතු බව තමා පවසා ඇතැයි ප්‍රධාන ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නියලැත්තන් පැවසීය.  සුදාවන්නියලැත්තන් භූමදානය කිරීමටත් පෙර එම අවවාදය කර ඔහු නායකත්වයට පත් කරන බවට අවසාන තීන්දුව දුන්නේද  සියලු අවවාද පිළි ගෙන කටයුතු කරන බවට  පවුලේ සියලුදෙනාගේ ඒකමතික තීරණය ගත් පසු බවද   හෙතෙම පැවසීය. 

 ආදිවාසී නැටුමක්

 

Leave a Comment

Comments

  • No comments yet. Be the first to respond.