ආනවිලුන්දාව රම්සා තෙත්බිම් අභය භූමියේ හටගත් ගින්නෙන් අක්කර 8 කට ආසන්න ප්‍රමාණයක් දැවී ගොස් ඇතිබව වාර්තා වේ . දින දෙකක් පුරා පැතිර යමින් තිබූ මෙම ගින්න මේ වනවිට සම්පූර්ණයෙන් මැඩපැවැත්වීමට පියවර ගෙන ඇතිබව පරිසර අමාත්‍යාංශය පවසයි.
කඩිනම් රාජ්‍ය මැදිහත්වීම මත ත්‍රිවිධ හමුදාවද ඇතුළු රාජ්‍ය ආයතන එක්ව මෙම ගින්න මැඩපැවැත්වීමට හැකියාව ලැබුණු බව පරිසර අමාත්‍යංශය නිකුත්කළ නිවේදනයක දැක්වෙයි .
ගින්න මැඩපැවැත්වීමෙන් අනතුරුව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා එම ප්‍රදේශය නිරීක්ෂණය කළ අතර එහිදී එම ප්‍රදේශය ඉදිරි සංරක්ෂණ කටයුතු සඳහා වූ ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කෙරුණි.
වියළි කාළගුණය හා තද සුළං තත්ත්වය හමුවේ පැතිර ගිය ගින්න පාලනය කිරීම සඳහා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පාර්ශ්ව කළ ඉල්ලීමකට අනුව ගුවන් හමුදාව විසින් හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් මුහුදු ජලය ඉසිනා ලද බව වාර්තා වේ .
එමෙන්ම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ප්‍රදේශවාසීන්ගේ ඒකාබද්ධ පරිශ්‍රමයෙන් හෙක්ටයාර 3,000කට අධික මෙම අගනා තෙත්බිම් පද්ධතිය විනාශ වීම වළක්වා ගැනීමට හැකියාව ලැබුණු බවද අමාත්‍යාංශය සඳහන් කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ ගින්න ඇතිවීම පිටුපස කිසියම් හිතාමතා සිදුකළ ක්‍රියාවක් හෝ කඩාකප්පල්කාරී පසුබිමක් පවතින්නේද යන්න පිළිබඳව විශේෂ විමර්ශනයක් දැනටමත් ආරම්භ කර ඇති බවය.
