අලිකෙඳි, කොටි දත් වැනි දේ ලඟ තබාගැනීමෙන් නීරෝගීබව නොව නැති ලෙඩ ඇතිවිය හැක .

අලිකෙඳි, කොටි දත් වැනි දේ ලඟ තබාගැනීමෙන් නීරෝගීබව නොව නැති ලෙඩ ඇතිවිය හැක .

 

කිතුල්ගල සංචාරක කර්මාන්තයට ප්‍රසිද්ධය. කැලණි නදියේ අලංකාරය කැටිවුන කිතුල්ගලට වෝටර් රාෆ්ටිංග් ක්‍රීඩාව සඳහාම එන්නෝ බොහෝය. ඊය අමතරව කලකට පෙර කිතුල්ගල ආශ්‍රිතව නිෂ්පාදනය කළ ඩේවිඩ් ලීන්ගෙ ප්‍රකට සිනමා සිත්තම වන බ්‍රිජ් ඔෆ් ද රිවර් ක්වායි හී පසුතලද කිතුල්ගලට සංචාරකයන් කැඳවයි . මේ නිසාම කිතුල්ගල නගරයේ සංචාරකයන්ගෙ අවශ්‍යතාවන් සපුරන ව්‍යාපාර බිහිවීමේ පුදුමයක් නැත. එහෙත් එකී ව්‍යාපාර නීත්‍යානූකූල ඒවා වීම අත්‍යවශ්‍යය .

එහෙත් කලක සිට කිතුල්ගල ආශ්‍රිතව කරගෙන ගිය නීති විරෝධී වනසත්ත්ව ජාවාරමක් පසුගියදා රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙදී වාර්තා විය.  කිතුල්ගලට එන සංචාරකයන් ඉලක්ක කර පවත්වාගෙන ගිය මේ ජාවාරමේ නියුතු ව්‍යාපාරිකයා කිතුල්ගල  නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැලක හිමිකරුවෙකි . ඔහු රන් භාණ්ඩ අලවි කරනා අතර තුර මෙරට සංරක්ෂිත සත්ව කොටස් නීතිවිරෝධී ලෙස ළඟ තබාගෙන අලෙවි කිරීමේ චෝදනාවට මිට සති කිහිපයකට පෙර අත් අඩංගුවට පත් වන්නේය. 

බුලත්කොහුපිටිය වනජීවී කාර්යාලය විසින් කළ වැටලීමකදී එම වෙළඳ සැළේ සහකරුවෙක් අත් අඩංගුවට ගත් අතර ඔහුට එරෙහිව වනසත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ චෝදනා 38 ක් ගොනුකරනා ලදි . මෙම නඩුව ඉකුත් ජූනි 24 වන්දා රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු චූදිත වෙළඳ සහයකයා එකී චෝදනා 38 ම වරද පිළිගත්තේය . ඒ අනුව මහෙස්ත්‍රාත්වරයා විසින් ඔහුට රුපියල් මිලියන 2.1ක (ලක්ෂ 21ක) දඩයක් නියම කරනු ලැබීය . රුපියල් මිලියන 2.1ක දඩ මුදල මාස තුනක කාලයක් ඇතුළත වාරික තුනකින් ගෙවීමටද අවසර ලබා දුන් මහේස්ත්‍රාත්වරයා එහි පළමු වාරිකය 2026 අගෝස්තු 05 වැනි දින හෝ ඊට පෙර ගෙවන ලෙස නියෝග කළේය . 

ස්වර්ණාභරණ අලවිසැල් හිමිකරුවෙක් තම ව්‍යාපාරයට අමතරව සත්ත්ව අවශේෂ සඟවාගෙන විකුණන තැනට පත්වීම කියාපාන්නේ මෙතරම් දියුණු සමාජයක පවා එකී අවශේෂ සඳහා පවතින ඉල්ලුමය. කිසිදු බලයක් නැති සත්ත්ව අවශේෂ වලින් මිනිසුන්ට යම් ආරක්ෂාවක් හෝ බලයක් හිමිවෙතැයි කිසිවෙක් සිතන්නේ නම් එය දියුණු සමාජයක තවමත් පවතින ගෝත්‍රික ලක්ෂණයක් පමණි. වැඩි ආරක්ෂාව හෝ නිරෝගී බව තකා ඇතැමුන් කොටි දත්, අලි කෙඳි ආදිය පළඳිති. එකී සත්ත්ව කොටස් සැකසී ඇත්තේ එම සතුන්ගේ දිවි පැවැත්මට උපකාරවනු පිණිස මිස මිනිසුන්ට ආරක්ෂාවක් සපයනට නොවේ. 

එමෙන්ම වඳුරන් සහ සර්පයන්ගේ අස්ථි කොටස් මගින් කෙනෙකුට විපතක් ගෙන දෙන කොඩිවින අණවින කිරිමට නොහැක. එම සතෙකුගෙන් මිනිසුන්ට යම් බලපමක් වන්නේ නම් ඒ එම සතුන් ජීවත්ව සිටියදීය. මරණයෙන් පසු එම සතුන්ගේ අස්ථි කොටස් හුදු පොළවට දිරා යන දෙයක් විනා කිසියම් අධ්‍යාත්මික බලයක් සහිත ඒවා නොවේ.  යම් කෙනෙකුට සත්ත්ව අවශේෂ මගින් ආරක්ෂාවක් ලබාගත හැකි වෙතැ‍යි සිතෙන්නේනම් එය ප්‍රථිකාර ලැබිය යුතු මට්ටමේ මානසික රෝගයකි. ඊට අමතරව ජීවිත කාලයක් හරි හම්බ කළ දේ අධිකරණයකට දඩ ලෙස ගෙවීමට සිදුවිය හැකි නීති විරෝධී ක්‍රියාවකි. 

වන සතුන්ගේ අස්ථි , සම්, අං, දත් වැනි දෑ එකතුකිරිමට මිනිසුන් තුළ ඇති ආශාව නිසා බොහෝ සත්ත්ව විශේෂ මෙලොවින් තුරන් වීමට පටන් ගෙන ඇත. විශේෂයෙන් සුදු රයිනෝසිරස්ලාගේ මිහිමතින් දුරස් වීම කඩිනම් වෙමින් පවතිනුයේ එම සතුනගේ අං මගින් වාජීකරණ ශක්තිය වර්ධනය කරනා බවට සමාජයේ පවතින අන්ධ විශ්වාසයයි .  රයිනෝසිරස්ලාගේ අං සතුව වාජීකරන ශක්තිය ඇතිබව සායනිකව තහවුරුව නැත. එහෙත් ඒ  සඳහා රසායනික සංයෝග මගින් නිමවූ ඖෂධ ඇත. ශ්‍රි ලංකාවේද කොටි දත්, අලිකෙඳි, ඇත්දළ වැනි දේට ඇති ඉල්ලුම හුදු අවිද්‍යාත්මක එකක් විනා කිසිදු විද්‍යාත්මක පදනමක් සහිත එකක් නොවේ. එවැනි දේ මගින් හිරේ විලංගුවේ වැටී දඩ කනවාට වඩා දෙයක් වෙන්නේ නැත. පසුගිය දා රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී රටට දුන් පාඩම ඒකය.

 

 

Leave a Comment

Comments

  • No comments yet. Be the first to respond.