ගිරාදුරුකෝට්ටේ බැරියර් හන්දියේ, පෞද්ගලික ආයතනයක් මගින් පවත්වාගෙන යනු ලබන වගා බිමකට පැමිණි අලියෙකුට වෙඩි තබා මරාදමා ඇතිබව වාර්තාවේ .
මෙම වෙඩි තැබීම පසුගිය සඳුදා (31) දින සිදුව ඇත . වෙඩිපහර අලියගේ පපුවට වැදී ඇති අතර මියගිය අලියා අවුරුදු 40 ක් පමණ වයැසැති පිරිමි සතෙක් බවද වාර්තාවේ . අඩි 9 කට ආසන්න උසකින් යුක්ත අලියා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ සතෙක් බව වනජීවී ආරංචිමාර්ග පවසයි .
මෙම පලතුරු වගාබිම පුද්ගලික සමාගම විසින් පවත්වාගෙන යන එකක්වන අතර එය රක්ෂිත බිමක ප්‍රේරණ කළාපයක් තුළ පිහිටා ඇත . සාමාන්‍ය වශයෙන් මෙම ප්‍රදේශය නිතර අලි ගැවසෙන කළාපයන් නොවනා බවත් මෙම අලියා ජලය සොයා පැමිණි අයෙක් විය හැකි බවත් පරිසඑඅ වේදීහු පවසති .
මේ ආකාරයේ මාදුරු ඔය ජලාශයේ ප්‍රේරණ කළාපයන්ගේ වගා කටයුතු කරනා සමාගම් බොහෝ විට ජලය ලබාගන්නේ උල්හිටිය ජලාශයෙන් බවත්, අධිබලැති වතුර පොම්ප යොදාගෙන එම සමාගම් වගාබිම් වෙත ජලය පොම්ප කිරීම වන සතුනට ඇති සීමිත ජල ප්‍රමාණය තව දුරටත් සීමාකරනා බවත් වනජීවී සේවකයෝ පවසති .
අලියාගේ මරා දැමීම සම්බන්ධයෙන් එම වගාබිමේ ආරක්ෂකයකු ලෙස සේවය කරන රත්කිඳ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සහ අලියාට වෙඩි තබන ලදැයි සැක කෙරෙන තුවක්කුවක්ද, දඹාන, ගල්කඩ, අඩවි වනජීවී නිලධාරීවරයා ඇතුළු වනජීවී නිළධාරීන් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
අත් අඩංගුවට ගත් සැකකරු අද ඊයේ (01) මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව, සැකකරු විසින් විවෘත අධිකරණයේදී වරද පිළිගෙන ඇත. අනතුරුව සැකකරු ශරීර ඇප මත නිදහස් කළ අතර විමර්ශන වාර්තාව මීළඟ අධිකරණ දිනයේදී ඉදිරිපත් කරන ලෙසට මහියංගන මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කර ඇත.
මේ ආකාරයෙන් ප්‍රේරණ කළාප තුළ මිනිස් ක්‍රියාකාරකම් ඉහළ යාම වනජීවීන්ගේ පැවැත්මට බරපතල තර්ජනයක් බවත්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින නියං තත්ත්වය හේතුවෙන් වන සතුන් ජලය සොයා වනයේ බොහෝ දුර ඇවිදින සතුන් දඩයක්කරුවන්ගේ ගොදුරු බවට පත්වන බවත් පරිසර වේදීහු කලක සිට පෙන්වාදෙති .