නැති ගජමුතු සොයා ඇතුන් මරන්න එපා .

නැති ගජමුතු සොයා ඇතුන් මරන්න එපා .

 

ශ්‍රී ලංකාවේ අලි දවසට එකා ගානේ මරා දමමින් තිබේ. මේ අතරින් වඩාත් තර්ජිත ඛාණ්ඩය බවට පත්ව ඇත්තේ ඇතුන් ය. ඊට හේතුව ඇත් දළ සඳහා සමාජයේ හිමිව ඇති අසාමාන්‍ය වටිනා කමය . පන්සල් දේවාල මතු නොව සමාජයේ බොහෝ ප්‍රභූන් පවා ඇත්දළ ලඟ තබාගැනීමට මහත් සේ රුචිකරන්නේ ඒවායේ අසාමාන්‍ය බලයක් ඇතැයි යන මිත්‍යා විශ්වාසය පදනම් කරගෙනය . ඊට අමතරව ඇත් දළ යනු ප්‍රභූ බවේ සංඛේතයක් ලෙස තකන්නෝද නැත්තේ නොවේ. එහෙත් ඇත්තෙන්ම ඇත්දළ ආභරණයක් වන්නේත් ආරක්ෂාවට වැදගත් වන්නේත් මිනිසුන්ට නොව ඇතුනට පමණි .

ඉහත කරුණුවලට අමතරව අමතරව දළ ඇතුනට මරු කැඳවන අනෙක් සාධකය ගජ මුතු නම් මනඃකල්පිත මුතු වර්ගය පිළිබඳව සමාජයේ මුල්බැසගෙන් ඇති විශ්වාසයය . සැබැවින්ම සත්ත්ව විද්‍යාඥයන්ට අනුව ගජ මුතු කියා දෙයක් නැත. වර්තමනයේ ගජ මුතු කියා විකුණන්න්නේත්, අත් අඩංගුවට ගන්නේත් ඔප දැමූ හරක් කටු ( ගෙරි කටු ) ය. එසේ නොවනා අවස්ථාවක තද පාෂාණ විශේෂයක් ගජ මුතු ලෙස විකුණන  අවස්ථා වාර්තා වී ඇත . එහෙත් මෙවැනි දේ අත් අඩංගුවට ගත් අවස්ථාවන්හීදී පවා පොලිසිය පමණක් නොව වනජීවී දෙපාර්තමේන්තුව පවා එම සිදුවීම් මධ්‍යට ලබදෙන්නේ ''ගජ මුතු '' අත් අඩංගුවට ගත් බව පවසමිණි . 

මෙට සත්ත්ව විද්‍යාව ගැන ප්‍රාමාණික මතයට ගරහමින් කරනා අනුවණ ක්‍රියාවකි.  අලින් ගේ නැති ගජමුතු ඇති කරනා මෙවැනි පුවත් මගින් කරනුයේ තව දුරටත් ගජ මුතු සොයන්නට ජාවාරම් කරුවන් දිරි ගැන්වීම පමණි . එහි අවසානය දළ ඇතුන් මතු නොව පණු දළ ධාරී කුඩා පැටවුන් පවා ගජමුතු සොයන්නට දඩයක්කරුවන් පෙළඹීමය .

 

 ගජමුතු ගැන අල්ලේ පැලවෙන බොරු කියනා ඇතැමුන් පවසනුයේ ගජමුතු සහිත ඇතුන් ඇවිදින විට සිහින් හඬක් නැගෙනා බවය . එහෙත් අත්දැකීම් බහුල වනජීවී නිළධාරීන් සහ  පශු වෛද්‍යවරුන් පවසන්නේ ඊට ඉඳුරාම වෙනස් කථාවකි .ඇත් දළයක් යනු අලියාගේ දිගු වූ උඩු හනුක කෘන්තක දත් (incisor teeth) වේ. සාමාන්‍යයෙන් ඇතෙකුගේ දළයේ මැද, දන්ත කුහරය කොටසේ ස්නායු සැපයුම් සහිත ජෙලි වැනි ද්‍රාවනයක් පිරි පවතියි . ඒවා ඇතා වයසට යද්දී ක්‍රමයෙන් වියළී ක්ෂීන වී වීමට ඉඩ තිබේ . ඉන් පසු එකී ජෙල් පිරී තිබූ කොටසේ හිස් අවකාශයක් ඉතිරි විය හැක . ඇතුන්ගේ දළ  ගසක හෝ වෙනත් ඝන පෘෂ්ඨයක වැදීම හේතුවෙන් එහි ඇතුළත සිහින් කොටස් කැඩී ජෙල් පිරී තිබූ කුහරයට ( අවකාශයට) වැටීමට ඉඩ තිබේ . දළය සෙළවන විට එකී කැබළි ගෙවී මට්ටම් විය හැකි අතර ඇත් දළයක් සොළවන විට එකී කැබළිවලින් සිහින් හඬක් නැගිය හැක. 

එසේ ඇතෙකුගේ දළයේ ඇතුළතින් ගැලවුන පතුරු මැදීමට ලක්ව රවුම් හී දිගැටි හැඩයට පත්වීමට දිගුකළක් ගත වේ. එවිට ඇතාගේ වයස ආසන්න වශයෙන් අවුරුදු  හැත්තෑවක්වත් විය යුතුය. ඒ වා අන් කිසිවක් නොව ඇත් දළයේ ඇතුළත පිහිටි දන්තමය කොටස් ය. ඒවායේ අමුතු බලයක් හෝ වටිනා කමක් නැත . හුදු සත්ත්ව අවශේෂයක් වන මෙම කොටස් මුතු ලෙස සැලකීම කෙතරම් දුරට සාධාරණදැයි වෙනමම සිතා බැලිය යුතුය. ඇතෙකුගේ දළය (Elephant Tusk) යනු එම සත්ත්වයාගේ ඉදිරිදත් වල විශේෂිත වර්ධනයකි. ඒ අනුව ඇත්දළවල යම් වටිනා කමක් වේනම් ඊට සමාන වටිනාකමක් මුඛය අභ්‍යන්තර දත් වලද තිබිය යුතුය .

ඇත් දළ හෝ ගජමුතු යයි කියනා දන්තමය කොටස් රැස්කරගැනීමෙන් ඔබේ වටිනා කම හෝ වත්කම් ඉහළ යන්නේ නැත . එහෙත් ඇතුන් ආරක්සා කරගැනීමෙන් ඔබේ මාතෘ භූමියේ වටිනාකම් ඉහළ දමා ගැනීමට ඔබටද දායක විය හැක .




   

Leave a Comment

Comments

  • No comments yet. Be the first to respond.