වනෝද්‍යානයක් වසා දැමීම,සතුන්ට දෙන විවේකයක්ද, සංරක්ෂණයේ අත්‍යවශ්‍ය පියවරක්ද .

වනෝද්‍යානයක් වසා දැමීම,සතුන්ට දෙන විවේකයක්ද, සංරක්ෂණයේ අත්‍යවශ්‍ය පියවරක්ද .

 

ශ්‍රී ලංකාවේ වනජීවී සංචාරක කර්මාන්තයේ සංකේතයක් බවට පත්ව ඇති යාල ජාතික වනෝද්‍යානය මේ දිනවල මුහුණ දෙමින් සිටින්නේ තවත් එක් වියළි කාලයකට පමණක් නොවේ. ජල මූලාශ්‍ර සිඳී යාම, අධික උෂ්ණත්වය, ආහාර හා ජලය සොයා සතුන්ට වැඩි දුරක් සංචරණය කිරීමට සිදුවීම සහ සංචාරක වාහන මගින් ඇතිවන පීඩනය වැනි කරුණු එකිනෙකට සම්බන්ධ වෙමින් පරිසර පද්ධතියට දැඩි අභියෝගයක් එල්ල කරමින් තිබේ.

මෙවැනි අවස්ථාවක යාලේ කොටසක් සංචාරකයන් සඳහා වසා දැමීම, සංචාරක කර්මාන්තයට එරෙහි පියවරක් ලෙස නොව, වනජීවී සංරක්ෂණයේ අවශ්‍ය කළමනාකරණ මෙවලමක් ලෙස දැකිය යුතුය. 2026 සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් 15 දක්වා යාල ජාතික වනෝද්‍යානයේ කළාප 1 සහ 2 තාවකාලිකව වසා දැමීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මෙම තීරණයට ප්‍රධාන හේතුව ලෙස පවතින නියඟ තත්ත්වය සඳහන් කර ඇත. එම කාලය තුළ එම කලාපවල සංචාරක බංගලා සහ කඳවුරු භූමිද වසා තැබෙන බව දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත

 

සංචාරක ප්‍රවාහන වාහන නිසා සිදුවිය හැකි අනිසි බලපැම්

යාල වැනි වියළි කලාපීය පරිසර පද්ධතියක ජලය යනු සෑම ජීවියෙකුගේම පැවැත්ම තීරණය කරන මූලික සාධකයකි.වැව්, පොකුණු, විල්ලු සහ අනෙකුත් ස්වාභාවික ජල මූලාශ්‍ර ක්‍රමයෙන් සිඳී යන විට වන සතුන්ට ජලය සොයා වැඩි දුරක් ගමන් කිරීමට සිදුවේ.එහිදී සිදුවන්නේ සරලව “සතුන්ට පිපාසය ඇතිවීම” පමණක් නොවේ.ජලය සොයා ගමන් කරන සතුන්ගේ ශක්තිය වැය වේ. දුර්වල සතුන්ට විලෝපිකයන්ගෙන් ඇති අවදානම වැඩි වේ. පැටවුන් සහ වයස්ගත සතුන් විශේෂයෙන් අවදානමට ලක් වෙති. එමෙන්ම සතුන් ස්වාභාවිකව එක්රැස් වන ඉතිරි ජල මූලාශ්‍ර කිහිපය වෙත සංචරණය කරන විට, එම ස්ථාන සංචාරක වාහනවලින් පිරී ගියහොත් තත්ත්වය තවත් බරපතළ වේ.

ඉකුත් ජුලි- අගෝස්තු මාසවලදි, නියඟ තත්ත්වය හේතුවෙන් යාල ඇතුළු ජාතික වනෝද්‍යාන කිහිපයක සතුන්ට බවුසර් මගින් ජලය ලබාදීමට රජයට සිදුව තිබීම මෙම තත්ත්වයේ බරපතළකම පෙන්වන වැදගත් සංඥාවකි. යාලේ ස්ථාන හයක ස්ථාපිත කුඩා පොකුණු සඳහා සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජල පද්ධති භාවිත කරමින් ජලය සැපයීමද සිදුව තිබුණ අතර එයද අක්‍රීයවිම හේතුවෙන් වන සතුන් මෙන්ම වනජිවි නිළධාරිහුද දැඩි අසිරුතාවන්ට පත්විය. යාලේ නියඟ සමයේ ඇතිවන මූලික සංරක්ෂණ ගැටලුවක් වන්නේ මෙයයි. සතුන්ට ජලය අවශ්‍යය. මිනිසුන්ට සතුන් දැකීමට අවශ්‍යය.නමුත් මෙම අවශ්‍යතා දෙක එකම ස්ථානයක එකම වේලාවක එකට ගැටුණහොත් අවසානයේ පීඩනයට ලක්වන්නේ වන සතුන්ය.

වියළි කාලයේදී සතුන් ස්වභාවිකව ජල මූලාශ්‍ර වටා රැස් වේ. එම ස්ථාන සංචාරකයන්ගේ ප්‍රධාන ආකර්ෂණ ස්ථාන බවට පත්වීම නිසා, ජලය සොයා පැමිණෙන සතෙකුට නිදහසේ ජලය පානය කිරීමට පවා බාධා ඇතිවිය හැකිය.

යාල සම්බන්ධ පර්යේෂණවලදී අධික සංචාරක වාහන සංඛ්‍යාව, මාර්ග තදබදය සහ ශබ්දය වන සතුන්ගේ හැසිරීම්වලට හා වාසස්ථානවලට බලපෑම් කරන බව පෙන්වා දී තිබේ.ඒ නිසා නියඟය පවතින අවස්ථාවක සංචාරක පීඩනය අඩු කිරීම සරල පරිපාලන තීරණයක් නොව, වන සතුන්ට ජලය සහ ආහාර සොයා යාමට නිදහස ලබාදීමේ සංරක්ෂණ පියවරක් ලෙස සැලකිය හැකිය.

යාලේ වසා දැමීම අලුත් දෙයක් නොවේ

යාලේ කොටස් වසා දැමීමේ සම්ප්‍රදායට ඉතිහාසයක් තිබේ.2017 වසරේද දැඩි නියඟය සහ ඉතා අඩු වර්ෂාපතනය හේතුවෙන් යාලේ කලාප 1 සහ 2 මාස දෙකකට වසා දමා තිබිණි. එවකට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේ ජලය සතුන්ගේ පැවැත්මට ප්‍රමාණවත් නොවන තත්ත්වයක් ඇතිව තිබූ බවයි. එම වසා දැමීමේ කාලය දිවියන්ගේ ප්‍රජනන සමය සමඟද සම්බන්ධ වූ බැවින්, සතුන්ට වැඩි ඉඩක් සහ නිදහසක් ලබාදීමට එය උපකාරී වන බවද සඳහන් විය.එම ඉතිහාසය අපට එක් වැදගත් පාඩමක් ලබා දෙයි.වනෝද්‍යානයක් සෑම දිනකම සංචාරකයන් සඳහා විවෘතව තැබීම සංරක්ෂණය නොවේ.සමහර අවස්ථාවලදී සංරක්ෂණය යනු දොර වසා දැමීමය.

වන සතුන්ට ‘විවේකයක්’ අවශ්‍ය වන්නේ ඇයි.

වන සතුන් දිනපතා සංචාරක වාහන සිය ගණනක් අතර ජීවත් වීමට පුරුදු වී ඇති බව සිතීම වැරදිය.සතෙකුට මිනිසුන්ගේ අඛණ්ඩ පැමිණීම ශබ්දයක් පමණක් නොවේ. එය එම සතාගේ චලනය, ආහාර සෙවීම, ජලය පානය කිරීම, විවේක ගැනීම, පැටවුන් රැකබලා ගැනීම සහ ප්‍රජනන හැසිරීම් වෙනස් කළ හැකි පාරිසරික පීඩනයකි.විශේෂයෙන්ම දිවියා වැනි විශාල විලෝපිකයන්ට තම ස්වභාවික හැසිරීම් පවත්වා ගැනීමට නිහඬ අවකාශ අවශ්‍යය.එමෙන්ම අලි, මුවන්, ගෝනුන්, වලසුන්, වල් ඌරන් සහ අනෙකුත් සතුන්ටද ජල මූලාශ්‍ර වෙත නිදහසේ පැමිණීමට අවකාශයක් අවශ්‍ය වේ.එබැවින් වසා දැමීමේ කාලය වනෝද්‍යානයේ “recovery period” එකක් ලෙස භාවිත කළ හැකිය.

බවුසර් මගින් ජලය.

සංචාරකයන් නොමැති කාලය වනජීවී නිලධාරීන්ටද ඉතා වැදගත් වේ.ජල මූලාශ්‍ර පරීක්ෂා කිරීම, වියළී ගිය පොකුණු හා වැව් හඳුනා ගැනීම, සතුන්ගේ තත්ත්වය නිරීක්ෂණය කිරීම, අවශ්‍ය ස්ථානවල ජලය සැපයීම, මාර්ග සහ යටිතල පහසුකම් නඩත්තු කිරීම, නීතිවිරෝධී ක්‍රියාකාරකම් පාලනය කිරීම සහ පරිසර පද්ධතියේ වෙනස්කම් නිරීක්ෂණය කිරීම වැනි කාර්යයන් වඩාත් කාර්යක්ෂමව සිදු කළ හැකිය.
ඒ නිසා වසා දැමීම යනු “කිසිවක් නොකර සිටීමේ කාලයක්” නොව “වනෝද්‍යානය නැවත සකස් කිරීමේ කාලයක්” විය යුතුය.නමුත් ජලය බවුසර්වලින් දීම පමණක් විසඳුමක්ද.මෙය යාල සම්බන්ධයෙන් අප විසින් අනිවාර්යයෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයකි.නියඟයක් ඇති වූ විට සතුන්ට බවුසර් මගින් ජලය සැපයීම හදිසි අවස්ථාවක ජීවිත බේරා ගැනීමේ පියවරක් විය හැකිය.නමුත් දිගුකාලීන සංරක්ෂණ උපායමාර්ගය බවට එය පත්විය නොහැක.වනෝද්‍යානයක ස්වාභාවික ජල පද්ධතිය දුර්වල වන්නේ ඇයි. වැව් හා පොකුණු නිසි ලෙස කළමනාකරණය කර තිබේද?ජලය රඳවා ගැනීමට හැකි ස්වාභාවික පරිසර පද්ධති ආරක්ෂා කර තිබේද?වන විනාශය, ඉඩම් භාවිත වෙනස්කම් සහ දේශගුණික විපර්යාස ජල චක්‍රයට බලපාන්නේ කෙසේද?මෙවැනි ප්‍රශ්නවලට පිළිතුරු සොයන්නේ නැතිව සෑම නියඟයකදීම බවුසර් යැවීමෙන් පමණක් ගැටලුව විසඳිය නොහැක.

යාල ජාතික වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය වනජීවී සංචාරක ගමනාන්තයකි.එය ආර්ථික වශයෙන් විශාල වටිනාකමක් නිර්මාණය කරයි. එහෙත් එම ජනප්‍රියත්වයම සංරක්ෂණයට අභියෝගයක් වී තිබේ.ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ 2025 Visitor Management අධ්‍යයනයක් පෙන්වා දෙන්නේ යාලේ සංචාරක තදබදය සාපේක්ෂව කුඩා ප්‍රදේශයකට සංකේන්ද්‍රණය වී ඇති බවත්, අධික ජීප් රථ ප්‍රමාණය මගින් තදබදය, ශබ්ද දූෂණය සහ වන සතුන්ට බාධා ඇති විය හැකි බවත්ය. එම වාර්තාව යාලේ සංචාරක සංවර්ධනය සහ සංරක්ෂණ අරමුණු අතර පැහැදිලි සමතුලිතතාවක් අවශ්‍ය බව අවධාරණය කරයි.එබැවින් යාලේ කොටස් වසා දැමීමේ අවස්ථාව සංචාරක කළමනාකරණය නැවත සිතා බැලීමට ලැබෙන අවස්ථාවක්ද විය යුතුය.

වසා දැමීමේදී කළ යුතු දේ

යාල වසා දැමීමේ කාලය සාර්ථක සංරක්ෂණ වැඩසටහනක් බවට පත් කිරීමට නම් අවම වශයෙන් පහත ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කළ යුතුය.

01. ජල මූලාශ්‍ර පිළිබඳ විද්‍යාත්මක සිතියමක් සකස් කිරීම
යාලේ ස්වාභාවික ජල මූලාශ්‍ර, ඒවායේ ජල ධාරිතාව, වියළී යන කාලය සහ සතුන් භාවිත කරන ආකාරය පිළිබඳ දත්ත පද්ධතියක් පවත්වාගෙන යා යුතුය.
02. සතුන්ගේ සංචරණය නිරීක්ෂණය කිරීම
GPS collar, camera traps සහ වෙනත් නවීන තාක්ෂණ භාවිතයෙන් නියඟ සමයේ සතුන් ජලය හා ආහාර සොයා සංචරණය කරන ආකාරය අධ්‍යයනය කළ යුතුය.
03. ජලය සැපයීම අවසාන විකල්පයක් ලෙස පවත්වා ගැනීම
බවුසර් ජලය ලබාදීම අවශ්‍ය අවස්ථාවලදී සිදු කළ යුතු නමුත් ස්වාභාවික ජල පද්ධති ප්‍රතිස්ථාපනය කිරීම ප්‍රමුඛතාව විය යුතුය.
04. සංචාරක වාහන සඳහා carrying capacity එකක් නියම කිරීම
දිනකට යාලේ ඇතුළත් කළ හැකි ජීප් රථ සංඛ්‍යාව සීමා කළ යුතුය.
05. සංවේදී ජල මූලාශ්‍ර අවට ‘No-go zones’ ඇති කිරීම
නියඟ සමයේ සතුන් විශාල වශයෙන් එක්රැස් වන ජල මූලාශ්‍රවලට සංචාරක වාහන ඇතුළුවීම තාවකාලිකව සීමා කළ හැකිය.
06. වසා දැමීම සඳහා විද්‍යාත්මක දර්ශක හඳුන්වාදීම

වියලී ගිය යාල 

“සැප්තැම්බර් මාසය නිසා වසා දැමීම” වෙනුවට වර්ෂාපතනය, ජල මට්ටම, උෂ්ණත්වය, වෘක්ෂ ආවරණය, සතුන්ගේ චලනය සහ ජල මූලාශ්‍රවල තත්ත්වය වැනි දර්ශක මත වසා දැමීම සහ නැවත විවෘත කිරීම තීරණය කළ යුතුය.

අපි බොහෝ විට සිතන්නේ ජාතික වනෝද්‍යානයක් යනු මිනිසුන්ට සතුන් දැකීමට ඇති ස්ථානයක් බවය.නමුත් සත්‍යය ඊට වඩා ගැඹුරුය.ජාතික වනෝද්‍යානයක් යනු සතුන්ට ජීවත් වීමට වෙන් කළ භූමියකි.මිනිසා එහි අමුත්තෙකි.එබැවින් කිසියම් අවස්ථාවකදී අමුත්තා ඉවත් කර සත්කාරකයාට නිදහසේ ජීවත් වීමට ඉඩදීම සංරක්ෂණයට එරෙහි ක්‍රියාවක් නොව, සංරක්ෂණයේම මූලික අංගයකි.යාලේ වර්තමාන වසා දැමීම එම සරල සත්‍යය නැවත අපට මතක් කර දෙයි.

යාල ජාතික වනෝද්‍යානය වසා දැමිය යුතුද?පිළිතුර “ඔව්” හෝ “නැහැ” යන්න පමණක් නොවේ.නිවැරදි ප්‍රශ්නය වන්නේ,“වන සතුන්ගේ පැවැත්මට අවශ්‍ය අවකාශය සහ ජලය රැකගනිමින්, මිනිසාට යාල නැරඹීමට අවසර දිය හැකි උපරිම සීමාව කුමක්ද?”යන්නයි.නියඟයක් පවතින විට එම සීමාව අඩු විය යුතුය.වන සතුන්ට ජලය සොයා යාමට පවා නිදහසක් නොමැති වන තරමට සංචාරකයන්ගෙන් වනාන්තරය පිරී යන්නේ නම්, එය සංචාරක සංවර්ධනය නොවේ.එය පරිසර පද්ධතියේ ණය ගැනීමකි.අද අපි සතුන් දැකීමට යාලට යනවා නම්, හෙටත් අපේ දරුවන්ට යාලේ දිවියෙකු, අලියෙකු, වලසෙකු හෝ මුවෙකු දැකීමට අවස්ථාව තිබිය යුතුය.ඒ සඳහා සමහර දිනවල යාලේ දොර වසා තැබීමත් සංරක්ෂණයේ කොටසක් විය හැකිය.

වනෝද්‍යානය වසා දැමීමේ අරමුණ මිනිසා යාලෙන් ඉවත් කිරීම නොවේ.අනාගතයේත් යාලේ සතුන් ජීවත් වන බව සහතික කිරීමයි.

 

Leave a Comment

Comments

  • No comments yet. Be the first to respond.