''ගෝලීය උණුසුම ඉහළ යාමෙන් අපට ගැලවීමක් නැත''. නේපාල ඛේදවාචකය කියාදෙන පාඩම එයයි.

''ගෝලීය උණුසුම ඉහළ යාමෙන් අපට ගැලවීමක් නැත''. නේපාල ඛේදවාචකය කියාදෙන පාඩම එයයි.



සිය ගණනකට මරු කැඳවමින් සහ දහස් ගණනක් අතුරු දහන් කරමින් ඊයේ (26) නේපාලයේ සිදුවූ හදිසි ගංවතුරට හේතුව භූමිකම්පාවක් බව මුලින් පැවසුනද ඊට අදාල අළුත්ම වාර්තා පවසනුයේ ඊට හේතුව ග්ලැසියර් කඩා වැටීමක් බවය . 

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ ස්වයංක්‍රීය භූමිකම්පා හඳුනාගැනීමේ ජාලය විසින් නේපාල ජලගැල්මටබ් හේතුව රික්ටර් මාපකයේ ඒකක 5.2 ක ප්‍රබලතාවයකින් යුතු භූමිකම්පාවක් ලෙස වාර්තා කරන ලදි . එහෙත් පසුව සිදුකළ පැහැදිලිකිරීමකදී කියවුනේ එය භූමිකම්පාවක් නොව අතිශයින් බලගතු ග්ලැසියර කඩා වැටීමක් සහ සුන්බුන් ගලායාමක් නිසා බවත්ය . අඩි 7000 ක පමන උසක සිට පහත නිම්නයට ග්ලැසියරය කඩා වැටීමේදී නැගුන කම්පනය රික්ටර් මාපකයේ 5.2 ක භූමිකම්පාවකට සමාන බව එම ආයතනය පවසා තිබුනි .

කඩා වැටුන ග්ලැසියරය නිසා භෝටේකොෂි ගඟේ අතු ගංගාවක් වන ලෙන්ඩේ කොලා ගඟ අවහිර වීමත්, ගැලැසියරයේ තිබූ අයිස් ඉක්මණින් දියවීමත් යන කරුණු නිසා රසුවා ප්‍රදේශය ඔස්සේ ගලාගිය බෝත්කොෂි ගංගාව ආශ්‍රයෙන් මේ ගංවතුර තත්ත්වය ඇතිවූ බව මේ වන විට තහවුරු වෙමින් තිබේ. 

ව්‍යසනයට පෙර සහ පසු චන්ද්‍රිකා ඡායාරූප සංසන්දනය කිරීමේදී, විද්‍යාඥයින් තහවුරු කර ඇත්තේ  නේපාල ටෙබෙට් දේශසීමාවේ කන්දක් මත ඉහළ සිට දැවැන්ත ග්ලැසියර කැඩී වැටෙනා බවයි. ප්‍රධාන කන්දෙන් වෙන්වුන අයිස් තට්ටුව ( ග්ලැසියරය)  පහළ නිමනයේ ගලාගිය ගඟට ඇද වැටුණු බවත්, එය දළ වශයෙන් අඩි 7,000 ක උන්නතාංශ පහත වැටීමක් බවත් CNN ආයතනය විශ්ලේෂණයක් මගින් පෙන්වා දෙයි .  
  
ගෝලීය උණුසුම ඉහළ යම හේතුවෙන් මේ වනවිට නේපාලය දේශගුණික විපත් බහුල භූමියක් වෙමින් පවතී . හිමාලයේ කඳුවටියේ ස්ථායි බවට සෘජුවම දායක වූ විශාල අයිස් තට්ටු දියවෙමින් පවතින අතර, පාෂාණමය කඳු බෑවුම් අඩු ඝන සහ තරල බවට පත්වෙමින් තිබේ. මෙම තත්ත්වය නිසා කඩා වැටීමට ලක්වූ ග්ලැසියරයේ අයිස් ඉක්මණින් දියවීමට පටන් ගැනීම ගංවතුර කඩිනම් වීමට හේතුවක් ලෙස සලකයි . ඊට අමතරව කඩා වැටීමේ දැඩි බලය හේතුවෙන් අයිස් දියවීම කඩිනම් වන්නට ඇතිබව ග්ලැසියර කඩා වැටීම විමර්ශනය කරනා කැනඩාවේ කැල්ගරි විශ්ව විද්‍යාලයේ භූ විද්‍යාඥ ඩැනියෙල් ෂුගර් පැවසීය.

මෙකී ග්ලැසියරය කඩා වැටිමට හේතුව මේවන තුරුත් නිස්චිතව තහවුරුව නැත. මේ මොහොත වන විටත් විද්‍යාඥයන් කණ්ඩායම් කිහිපයක් ඒ පිළිබඳව පරයේෂණ කරමින් සිටී . එහෙත් කලක සිට වාර්තාවන හිමාලය කඳුපන්තියේ අයිස්තට්ටු දියවීම මේ ග්ලැසියර් පථනයට සහ කඩා වැටුන අයිස් තට්ටු ඉක්මණින් දියවීමට සෘජුව සම්බන්ධ බවට මේවන විටත් මත පලවෙමින් තිබේ. ඒ අනුව ගෝලීය උණුසුම ඉහළ යාමේ ඛේදවාචකයෙන් වියුක්තව මේ සිදුවීම ගැන සිතීමට අපට සාධාරණ අයිතියක් නැතිබව පැවසිය හැක.  

හිමාලයේ සහ ධ්‍රැව ප්‍රදේවල සිදුවෙමින් පවතින ග්ලැසියර් දියවීම මේවන විටත් බොහෝ විද්‍යාඥයන්ගේ අවධානය දිනාගත් පාරිසරික ගැටළුවකි . එම කරුණ නිසා සාගර ජල මට්ටම ඉහළ යාම සිදුවන බව නිතර සාකච්චාවට ලක්වන මාතෘකාවකි . මෙම හේතුව නිසා ටහිටි, ටුවාලු, ශාන්ත කුක් වැනි කුඩා දූපත් ඉතා ඉක්මණින් සාගරයට යටවන බව අපි හොඳින් දන්නෙමු . එහෙත් ග්ලැසියර් දියවීම සහ කඩා වැටීම නිසා සාගර ජල මට්ටම ඉහළ යාමට පෙර ගංඟාවන්ගේ ජල මට්ටම ඉහළ යා හැකි බව මේ සිදුවීම මගින් අපට සිහි කැඳවයි . ඒ අනුව ගෝලීය උණුසුම ඉහළ යාම මුහුදු වෙරළ සමීපයේ සිට හිමාළයේ උස් මුදුන් හී දිවි ගෙවනා සමස්ත මානව වර්ගයාට ගැලවීමක් නැති ඛේදවාචකයක් බව පැහැදිළිවෙයි .



 

 

Leave a Comment

Comments

  • No comments yet. Be the first to respond.