දුක් විඳ මැරෙන්නට තවත් අලියෙක් හොරොව්පතානට ගිහින් දමයි .

දුක් විඳ මැරෙන්නට තවත් අලියෙක් හොරොව්පතානට ගිහින් දමයි .

  

 

 ශ්‍රී ලංකාවේ අංක එකේ සත්ත්ව මිනිස් ගැටුම ල්‍රෙස අලි මිනිස් ගැටුම දැක්විය හැක .  ඒ ආකාරයේ ලෝකයේ ඇති දරුණුම ගැටුමද වෙයි . එහෙත් ලංකාවේ අපි අනිත් බොහෝ දේ මෙන්ම අලි මිනිස් ගැටුමද වැරදි කොනෙන් අල්ලා ගන්නට දක්වන්නේ දැඩි ආශාවකි . ඒ අනුව අප අලි මිනිස් ගැටුම විසඳන්නට යන්නේද අපට හිතෙනා ආකාරයට මිස සත්ත්ව සුබ සාධනය තහවුරු කර දෙපාර්ශවයටම සහනයක් ලැබෙනා ආකාරයට නොවේ. ලෝකය පුරා සිටිනා සිටිනා අලි අතින් පිළිබඳ පරයෙෂකයන් මෙන්ම ශ්‍රී ලංකාව තුළ දිගුකලක් අලි ඇතුන් පිලිබඳ හදාරණ හස්ති චර්යා විද්‍යා ප්‍රාමාණිකයන්ද අලි මිනිස් ගැටුම අවම කරන්නට කරනා යෝජනා අත හැර අප අපට සිතෙනා ලෙස ඊට විසඳුම් සොයමින් සිටින්නෙමු .

 

ඒ අනුව හිතෙන හිතෙන තැන්වල විදුලි වැට ගසමින්ද, අලි වෙඩි දමමින්ද, සැතපුම් ගනන් දුර අලි පලවා හරිමින්ද, රැඳවුම් මධ්‍යස්ථාන යනුවෙන් හඳුන්වන හොරොව්පතාන වැනි වධකාගාරවල අලි ගාල් කරමින්ද අලි මිනිස් ගැටුම නිමාකරන්නට අපි උත්සහ කරන්නෙමු . දිගු ඉතිහාසයක් පුරා අනේක වාරයක් අසාර්ථක බව තහවුරු කර ඇති මේ ක්‍රම විශාල මහජන මුදලක් වැය කරමින් නැවත නැවතත් ක්‍රියාත්මක කරන්නට යාම තුළින් මිනිසුන් ගේ සහ අලි ඇතුන්ගේ ජීවිත අවධානමේ ලන්නට අප කටයුතු කරමින් සිටින්නෙමු

. 

 

පසුගිය මාර්තු හතරවෙනිදා වයඹ වනජීවී කළාපයේ නිකවැරටිය , කොටවෙහෙර ප්‍රදේශයේ ජීවත්වූ තරුණ අලියෙක් බලහත්කාරයෙන් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට ගෙනගොස් දැමීමට වන ජිවී නිළධාරීන් කටයුතු කළ අතර, එයින් කියවෙන්නේ දැන දැන වැරදි කරන්නට වගකිවයුත්තන්ට  ඇති උවමනාවයි .   

 

මෙසේ හොරොව්පතානට ගෙනගොස් දමා ඇත්තේ නිකවැරටියට නොදුරු ගුරුපොකුණ, කැලේගම ආදී ප්‍රදේශවල ගැවසුන මෙම තරුණ අලියායෙකි . මේ ආකාරයෙන් පරිස්ථාපනය කිරීමට හේතුව ලෙස වනජීවී බලධාරීන් සහ ප්‍රදේශවාසීන් දක්වනුයේ ඌ මිනිසෙක් මරා තිබීමය . ඊට අමතරව අවස්ථා කිහිපයකදීම පහර දීම සඳහා මිනිසුන් ලුහුබැඳ යාම සහ නිවාස කිහිපයකට පහරදී තිබීමද චෝදනා අතර වෙයි . ඒ මිනිසුන් ගේ පැත්තෙන් කියනා කථාවය . එහෙත් අලියාගේ පැත්තෙන්ද කථාවක් තිබිය හැකි අතර වරද වන්නේ කිසිවෙකුත් ඒ ගැන නොසිතා කටයුතු කිරීමය .

 

අලි සහ මිනිසුන් අතර ගැටීමට හේතුව දිගුකලක සිට සමාජයේ සාකච්චාවට ලක්වන්නකි . එහෙයින් වැදගත් වන්නේ ඊට විසඳුම් සෙවීමය . එහෙත් වයඹ වනජීවී කළාපයේ සිදුවු උක්ත සිදුවීම කියාපාන්නේ අපි තවමත් සිටින්නේ විද්‍යාත්මක විසඳුම් වෙනුවට කටකථා විශ්වාස කරනා තැනක බවය . 

 

සැබැවින්ම ප්‍රචණ්ඩ හැසිරීම් පෙන්වම අලි ඇතුන් පිළිබඳව කළ ප්‍රාමාණික හැඳෑරීම් මගින් එකී හැසිරීම් සඳහා හේතුවූ කරුණු මෙන්ම තවත් බොහෝ දේ ගැනද ප්‍රමානවත් අවබෝධයක් ලබාගත හැක්කේය . මේ ආකාරයෙන් ප්‍රචාණ්ඩ හැසිරීම් පෙන්වන අලි ඇතුන් සියළුදෙනාම පාහේ රංචුවෙන් මිදී සිටිනා පිරිමි සතුන් වන අතර පොදු ව්‍යවහාරයේ තනි අලි යන නමින් හඳුන්වන්නේ එම සතුන්ය . තරුණ වියට එළබෙන අලි රංචුවෙන් නෙරපා හැරීම සාමාන්‍ය ක්‍රමය වන අතර, එය එකම පවුලේ සතුන් අතර සිදුවන ලිංගික සබඳතා වලකා ලීම සඳහා ක්‍රියාත්මකවන ස්වාභාවික ජෛව පාලන ක්‍රමයකි . එකම පවුලක සාමාජිකයන් අතර සිදුවන ප්‍රජනන ක්‍රියාවලියකින් දුර්වල ජාන සහිත පරපුරක් බිහිවන අතර එම තත්ත්වය වලකා ලීම මෙහි අරමුණයි .

 

කොටවෙහෙර ප්‍රදේශයෙන් අල්ලා ගත් අලියා අවුරුදු 30 ක් පමණ වයසක පසුවෙන බව වනජීවී නිළධාරීහු පවසති . ඒ අනුව ඌ තරුණ වියේ පසුවන්නෙක් බව පැහැඳීවෙයි . මේ වයසේ අලි වෙනත් රංචුවකට එක්වීම ස්වාභාවික ක්‍රියාවකි . ඒත් අලි ඇතුන් යනු වාසභූමි නඩත්තු කරනා සතුන් කොටසකි . ඒ අනුව වෙනත් රංචුවක් වෙත යාමට නම් සැලකිවයුතු දුරක් ගමන් කිරීමට සිදු වෙයි . ඒත් වනාන්තර තුළ සිදුවන ඉඩම් අලා ගැනීම්, ගස් කැපිම්, අලි මංකඩ අත්පත් කරගැනීම් වැනි ක්‍රියා නිසා අලි ඇතුනගේ ස්වාභාවික පර්යටන ක්‍රියාවලියට සැලකිවයුතු බාධාවක් පැමින අවසන් ය . එම නිසා සිය ලිංගික වශයෙන් සක්‍රීය තරුණ සතුනට සුදුසු සහකාරියක සොයා වෙනත් ප්‍රදේශයකට යාම අසීරු වෙයි . මෙම තත්ත්වය අලි ප්‍රචණ්ඩ වීමට එක් හේතුවකි . ඊට අමතරව සිය ආහාර සහ ජල අවශ්‍යතා සපුරාගැනීමට දෛනිකව බොහෝ දුරක් යාමට සිදුවීමද අලි සහ මිනිස්සු අතර ගැටීම උග්‍ර කරන්නට හේතුවක් වී ඇත. නිකවැරටිය, කොටවෙහෙර පමණක් නොව  සමස්ත වයඹ වනජීවී කළාපයේම මිනිස් ක්‍රිකාකාරකම් නිසා බරපතල ප්‍රශ්ණ උද්ගතව ඇති බව ප්‍රකට කරුණකි. ඉතා සීමිත බිම් තීරුවකට අලි ඇතුන් කොටුවීම නිසා එහි අලි මිනිස් ගැටුම බොහෝ ඉහළ අගයකට පැමින ඇත .

 

කොටවෙහෙර අලියා අල්ලා හොරොව්පතානට ගෙන ගොස් දැමීමේ සිද්ධියට අදාලව චායාරූප රැසක් මේවන විටත් සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි . අලියාගේ පාදයක් ඉදිමී ඇති ආකාරය එම ඡායාරූප නිරීක්ෂණයේදී පැහැදිළිව දැකගත හැක . ප්‍රදේශවසීන්ගේ මතය එම තුවාලය බඳින කඳක් පත්තුවීමෙන් සිදුවූ එකක් විය හැකි බවය . ඒ අනුව එම අලියා සිටියේ ප්‍රතිකාර ලැබිය යූතු තත්ත්වයේ බවත්, එවැනි සතෙක් සැතපුම් සිය ගණනක් දුර අහාර සහ ජලය පවා ප්‍රමානවත්ව නැති ප්‍රදේශයකට ගෙනගොස් දැමීම අසාධාරණ බවත් ඕවුහු පවසති .

\

 

සැබැවින්ම අලියාගේ තුවාලයේ තත්ත්වය පිළිබඳව අප වයඹ කළාපයේ වනජිවී පශු වෛද්‍ය ඉසුරු හේවාකොට්ටගේ ගෙන් විමසූවෙමු . ඔහු පවසනුයේ අලියාගේ කකුලේ  ඉදිමුමක් ලෙස පෙනෙන්නේ සැබැවින්ම ඉදිමුමක් නොව ගල් සන්දි ලෙස හඳුන්වන තත්ත්වය බවයි . පැරණි තුවාලයක් සුව වනවිට එහි සිදුවෙන කැල්සියම් තැන්පත්වීම නිසා මේ ආකාරයෙන් ගල් සන්දි තත්ත්වයට පත්වන බව වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ පවසයි .

 

අනතුරුව අපි සොයාබැලුවේ මම අලියාට ප්‍රතිකාර අවශ්‍ය වුවහොත් එය ලබාදීමට හොරොව්පතාන අලි ගාලට අනුයුක්ත පශු වෛද්‍යවරයෙක් සිටීද යන්නයි . එහිදී දැනගත හැකි වූයේ පණ්ඩුලගම වනජීවී පශුවෛද්‍ය කාර්යාලය මගින් අවශ්‍යතාවයකදී ප්‍රතිකාර ලබාදෙන මුත් එහි නේවාසික පශු වෛද්‍යවරයෙක් නොමැති බවය.  වනසතුන් උදෙසා රැඳවුම් මධ්‍යස්ථාන වූ කළී සැබැවින්ම අසාර්ථක ක්‍රමයකි . විශේෂයෙන්ම විශාල භූමි ප්‍රමානයක් බුක්ති විඳිමින් සිය වාසභූමිය නඩත්තු කරනා අලි ඇතුනට මෙකී රැඳවුම් මධ්‍යස්ථාන ක්‍රමය කිසිසේත් යෝග්‍ය වන්නේ නැත . එය පවසන්නේ පරිසරවේදීන් පමනක් නොවේ. වනජීවී දෙපාර්තමේන්තුවේද බහුතරයක් දරණුයේ එම මතයමය .

ඊට අමතරව පූර්ණ මධ්‍යස්ත පාර්ශවයක් වන විගණකාධිපති දෙපාර්තමේන්තුවද සිය වාර්ෂික වාර්තාව මගින් වරක් හොරොව්පතානේ අලි රැඳවුම් මධ්‍යස්ථානයේ අසාර්ථක බව සහ එහි සිදුව ඇති අක්‍රමිකතාවකන් රැසක් පෙන්වාදී තිබුනි .  2022 වසරට අදාල සිය වාර්තාව මගිනි. එහි දැක්වෙන පරිදි අලි රැඳවුම් මධ්‍යස්ථානයට මුල්ම අලියා මුදා හැර ඇත්තේ 2015 සැප්තැම්බර් 04 දිනය. 2019 ජුනි 25 දින වනවිට ඊට මුදාහර අති අලි ඇතුන් සංඛ්‍යව 52 කි. කෙසේ වෙතත් 2019 ජුනි මස වන විට එහි ඉතිරිව සිට ඇත්තේ අලි ඇතුන් 09 දෙනෙකු පමණක් බව එකී වාර්තාවේ සඳහන් වෙයි .  රැඳවුම් මධ්‍යස්ථානය ආශ්‍රිතව වාර්තාවෙන අලි මරණ සංඛ්‍යාව 12 කි. ඉතිරි අලින් 31ක් අතුරුදහන්වී ඇති බව වාර්තාව මගින් පෙන්වා දී ඇත. අලි රැඳවුම් මධ්‍යස්ථානයේ ඇති තණ බිම් සංඛ්‍යාව එහි වසනා සතුනට කිසිසේත් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රුපියල් කෝටි ගණනක් වැයකර පිටතින් ආහාර ලබාගෙන ඇතත් අලි හාමතේ මිය ගිය බව මේවන විට තහවුරුව ඇත . රැඳවුම් මධ්‍යස්ථානය තුළ අලි ඇතුනට ප්‍රමානවත් ජලපහසුකම් නැති අතර මේ සියළු දේ නිසා අලි එම බිම හැර යාම ඉක්මන් වන බව පරිසර වේදීහු පෙන්වා දෙති .

පනාමුරේ අලි ගාල වැනි හස්ති මර්මස්ථානයක්වන හොරොව්පතානට තවත් අලියෙක් ගෙනගොස් දැමීමට සාධාරණදයි විමසන්නට අපි වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් ඇමතූවෙමු . එහිදී අප හා අදහස් දැක්වූ නිළධාරියෙක් පැවසූවේ කොටවෙහෙර අලියා තවමත් පරිස්ථාපනයට ලක් කර නැති බවය. එහෙත් අලියා හොරොව්පතානට ගෙන ගොස් දමා ඇති බවත් අදාල චායාරූප පවා අප සතු බවත් පැවසීමෙන් පසු ''අලි සංවර්ධන අංශයේ තව්ෆික් මහත්තයාගෙන්'' විමසන මෙන් ඔහු උපදෙස් ලබාදුන්නේය. ඒ අනුව අපි '' තවුෆික් මහත්තයාගෙන්'' මේ පිළිබඳව විමසූවෙමු.

කොටවෙහෙර අලියා හොරොව්පතානට ගෙනගොස් දැමූ බව ඔහු එහිදී පිළිගත්තේය . ගෙනගොස් දැමූ අලින්ගෙන් හතරෙන් තුනකට වඩා වැඩි ප්‍රමාණයක් මියගොස් හෝ අතුරු දහන්ව ඇති හොරොව්පතානට අළුතෙන් අලි ගෙනගොස් දමන්නේ ඇයි දැයි අපි අනතුරුව ඔහුගෙන් විමසූවෙමු . එහෙත් හොරොව්පතාන අසාර්ථක ව්‍යාපෘතියක් බව ඔහු පිළිගන්නේ නැත .

වනජීවී දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසනුයේ වනජීවී පශු වෛද්‍යවරු ඇතුළු බහුතර පිරිසක් මෙකී අවිධිමත් පරිස්ථාපන ක්‍රියවලියට මුලුමනින්ම විරුද්ධ බවය. අප හ අදහස් දැක්වූ වනජීවී නිළධාරියෙක් ඒ පිළිබඳව මෙසේ පැවසීය . '' අලි ගිහින් දාන වැඩේ සම්පූර්ණයෙන්ම අසාර්ථකයි . 2015 ඉඳන්ම මේක ඔප්පු වෙච්ච දෙයක්. ඒත් නැවත නැවතත් කරනවා. අපි හොඳටම දන්නවා ''වයිල්ඩ් ලයිෆ් වෙට් ලා'' මේ වැඩේට කැමති නෑ. කොටවෙහෙර අලියා වයඹ කළාපයෙන් පිට යවන්න ඒ අය කැමති උනේ නෑ. ඒත් ඉහළින් එන අණ ක්‍රියාත්මක කරන්නම වෙනවා. ඒක නිසා ඒ අලියා හොරොව්පතානට ගිහින් දාන්න වුනා. සමහර විට තව මාසයක දෙකක් යනකොට ඔය අලියා එහෙන් පනියි . නැවත මෙහෙ එන්නත් පුළුවන් . නැතිනම් මග මැරෙන්නත් පුළුවන් .'' ඔහු පැවසීය .

අලි අල්ලා හොරොව්පතානට ගිහින් දැමිම දේශපාලන හේතූන් මත ගත් තීන්දුවක්දැයි අනතුරුව අපි විමසා සිටියෙමු . '' ඔය හොරොව්පතාන කියන්නේත් දේශපාලන තීන්දුවක් නේ. එවකට හිටිය ඇමති කෙනෙක් තමන්ගේ ගම් පළාතට ඕක ගන්න මුල්වුනේ . අද වුනත් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවලදී කථාවෙන දේවල් බලන්න. වනජීවී නිළධාරීන්ට කොයිතරම් බලපෑම් එනවද . අලි එළවන්න, අල්ලලා ගිහින් දාන්න කිය කිය . මොකද දේශපාලනඥයන්ට වටින්නෙ මිනිස්සු . ඒ අයට ඡන්දය තියනවානේ . අලින්ගෙන් එහෙම  ප්‍රයෝජනයක් නෑ නේ . ඒ නිසා සියළු තීරණ ගන්නේ දේශපාලන වාසිය බලලා. අලියෙක් ගම් වදිනවානම් මිනිස්සුන්ගෙයි, දේශපාලන අධිකාරියෙයි එකම විසඳුම තමා ගිහින් හොරොව්පතානේ දාන එක . අලියා ගමට එන්න හේතුවෙන පාරිසරික ප්‍රශ්ණය විසඳන්න ඒ අයට ඕන කමක් නෑ .

 

 

 

Leave a Comment

Comments

  • No comments yet. Be the first to respond.