කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් 849-D ග්‍රාම නිලධාරී වසමේ පිහිටි යෝජිත නාවලකන්ද පාරිසරික සංවේදී කලාපය තුළ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති ප්‍රදේශයේ අප විසින් පසුගිය කාලයේ සිදු කළ ගවේෂණ කටයුතු අතරතුර ගල්ලෙන් කිහිපයක් හඳුනාගැනීමට හැකි විය.
මෙම ගල්ලෙන් විශාල පිරිසකට එකවර රැඳී සිටිය හැකි ප්‍රමාණයෙන් යුක්ත වීමත්, ඒවා තුළ වලං කැබලි ඇතුළු පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇත්දැයි සැක සාධක කිහිපයක් නිරීක්ෂණය වීමත් හේතුවෙන්, අතීතයේ මෙහි ජනාවාස පැවති බවට සැකයක් මතුවිය. එසේම, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය නිමල් පෙරේරාගේ මූලිකත්වය සහිත පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදුකළ සුක්ෂම පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් නුතන ආදිතම මානව ජනාවාසය තිබුනායැයි සැලකෙන පාහියන්ගල ජනාවාස පද්ධතියේම අවුරුදු 48000ක් තරම් අතිතයට ගෙන යා හැකි තවත් එක් ජනාවාසයක් තිබූ ස්ථානයක් ලෙස සැළකිය හැකි බව පවසන වලල්ලාවිට, ගුලවිට ගල්ලෙන පිහිටා ඇත්තේ මෙම ස්ථානයට ඉතාමත්ම ආසන්නයේය . ඒ අනුව මෙම ගල්ලෙන් වලටද එවැනිම පුරාවිද්‍යාත්මක වටිනාකමක් තිබේදැයි විමර්ශනය කිරීමේ අරමුණින් අප විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලදී.
එම දැනුවත් කිරීමත් සමඟ මෙම ගල්ලෙන් නිරීක්ෂණයට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බස්නාහිර පලාත් සහකාර අධ්‍යක්ෂ ඩග්ලස් බණ්ඩාර, ගවේෂණ නිලධාරිනියන් වන සුජාතා පෙරේරා සහ අනුෂි කාරියවසම් , කළාප භාර නිලධාරී ගයාන් බදුරලිය ඇතුළු නිලධාරීන් පිරිසක් 2026 ජූලි 15 වන අද දින නාවලකන්ද ගම්මානයට පැමිණියහ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මග පෙන්වීම සඳහා අජිත් උදයකුමාරද මේ සඳහා සහභාගී විය.
නිරීක්ෂණයෙන් අනතුරුව එම නිලධාරීන් සඳහන් කළේ, මෙම ගල්ලෙන් ප්‍රාග් ඓතිහාසික සාධක සහිත ගල්ලෙනක වාසය කළ ආදිතම මානවයන්ගේ තාවකාලික ලැගුම් ස්ථාන විය හැකි බවට මූලිකව සැලකිය හැකි බවයි. කෙසේ වෙතත්, ඒ පිළිබඳ නිශ්චිත නිගමනයකට එළඹීම සඳහා ප්‍රදේශයේ තවදුරටත් විධිමත් පුරාවිද්‍යාත්මක ගවේෂණ හා පර්යේෂණ සිදු කළ යුතු බවත්, ඒ සඳහා ඉදිරියේදී අවශ්‍ය කටයුතු සිදු කරන බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
මෙම සිදුවීම යෝජිත නාවලකන්ද පාරිසරික සංවේදී කළාපයේ පවතින පුරාවිද්‍යාත්මක වටිනාකම පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමටත්, එම ප්‍රදේශයේ ස්වභාවික හා සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම තවදුරටත් අවධාරණය කිරීමටත් හේතු වන වැදගත් පියවරක් ලෙස සැලකිය හැකිය.