ගලක් මත නිහඬව ජීවත් වන පුංචි “ජීව ලෝකයක්” ගැන අලුත්ම විද්‍යාත්මක සොයාගැනීම් කිහිපයක් ගැනයි අද කතා කරන්න යන්නේ..
.
ගසක කඳක් මත හෝ පැරණි ගල් බිත්තියක මතුපිට, කුඩා කොළ පැහැති හෝ අළු පැහැති පැල්ලම් ඔබත් දැකලා ඇති. බැලූ බැල්මට ඒක ගල මත ඇලිලා තියෙන අමුතු පැල්ලමක් වගේ පෙනෙන්න පුළුවන්. නමුත් ඒ පුංචි පැල්ලම ඇතුළේ සිදුවෙමින් තියෙන්නේ අපට සිතාගන්නවත් අමාරු තරම් සංකීර්ණ ජීව විද්‍යාත්මක කතාවක් බව ඔබ දැනගෙන හිටියද . ඒ තමයි ලයිකන (lichen).
වසර ගණනාවක් තිස්සේ අපි ලයිකනය හඳුනාගත්තේ සරල සූත්‍රයකින්.
දිලීරයක් + ඇල්ගී = ලයිකනයක්.

දිලීරය නිවස සපයනවා. ඇල්ගී හෝ සයනොබැක්ටීරියාව ප්‍රභාසංස්ලේෂණයෙන් ආහාර නිපදවනවා. දෙදෙනා එකට ජීවත් වෙමින් එකිනෙකාට ප්‍රයෝජන ලබාදෙනවා.
කතාව ලස්සනයි. නමුත් ඒක සම්පූර්ණ කතාව නොවෙයි.
නවීන අණුක ජීවවිද්‍යාව, DNA sequencing සහ microbiome පර්යේෂණ ලයිකනයේ ඇතුළත ලෝකය තවදුරටත් විවෘත කරද්දී, විද්‍යාඥයන්ට පෙනෙන්නට පටන් ගත්තේ ලයිකනයක් කියන්නේ ජීවීන් දෙදෙනෙකුගේ හවුලකට වඩා, එකට බැඳුණු සම්පූර්ණ ක්ෂුද්‍ර පරිසර පද්ධතියක් බවයි.
ලයිකනයක ප්‍රධාන චරිතය සාමාන්‍යයෙන් දිලීරයයි. විශේෂයෙන්ම Ascomycota කාණ්ඩයට අයත් දිලීර විශේෂ බොහෝ ලයිකනවල ප්‍රධාන "දිලීර සහකරු" විදියට කටයුතු කරනවා. ඒක ලයිකනයේ ශරීරය නැත්නම් තලස (thallus) ගොඩනඟනවා.
ඒ තලස තුළ ප්‍රභාසංස්ලේෂණය කරන හවුල්කරුවෙකුත් ඉන්නවා. ඒක සාමාන්‍යයෙන් හරිත ඇල්ගී හෝ සයනොබැක්ටීරියාවක්. ඇල්ගී හිරු එළිය භාවිතා කරමින් කාබනික සංයෝග නිපදවනවා. ඒවායින් කොටසක් දිලීර සහකරු වෙත ලැබෙනවා.
දිලීරය අනෙක් පැත්තෙන් ජලය, ඛනිජ සහ ආරක්ෂිත ව්‍යුහයක් ලබාදෙනවා. ඒක හරියට කුඩා නගරයක් වගෙයි. නමුත් ඒ නගරයේ ජීවත් වන්නේ පවුල් දෙකක් පමණක් නෙවෙයි. නවතම අධ්‍යයනයකින් දැන් එහි වෙසෙන තුන්වැනි චරිතයකුත් හඳුනාගෙන තියෙනවා.
ලයිකන තවදුරටත් අධ්‍යයනය කළ විද්‍යාඥයන්ට හමුවුන මේ වැදගත් පිරිස තමයි, බැක්ටීරියා. ලයිකනවල මතුපිට, ඇතුළත සහ දිලීර හා ඇල්ගී අතර තියෙන ක්ෂුද්‍ර අවකාශවල විවිධ බැක්ටීරියා ප්‍රජාවන් ජීවත් වන බව මූලික අණුක අධ්‍යයන මගින් පැහැදිලි වුණා. ඒවා අහම්බෙන් පැමිණි “අමුත්තන්” පමණක් නොවෙන බවට සාක්ෂි පසුව කෙරුනු වැඩිදුර පර්‍යේෂණ මගින් තහවුරු කෙරුණා.
සමහර බැක්ටීරියා පෝෂක චක්‍රවලට දායක වෙනවා. සමහරක් විටමින් හෝ වෙනත් වර්ධන උත්තේජක සංයෝග නිපදවනවා. තවත් සමහරක් ලයිකනයේ ආරක්ෂාවට සහ පරිසරයට අනුවර්තනය වීමට බලපෑම් කරනවා.

ඒ කියන්නේ ලයිකනයේ ජීවිතය දිලීර සහකරු සහ ඇල්ගී සහකරු අතර පමණක් සිදුවන ගනුදෙනුවක් නෙවෙයි.ඒකෙ බැක්ටීරියාත් ඉන්නවා. ඒ වගේම තවත් “අදෘශ්‍යමාන පුරවැසියන්” ඉන්නවා.
මෙතැනින් කතාව තවත් අපූරු වෙනවා. තවත් නවතම පරයේෂණයක් පෙන්වා දෙන්නේ ලයිකන තුළ ප්‍රධාන දිලීර සහකරුට අමතරව වෙනත් දිලීරත් හමුවෙන බවයි. විද්‍යඥයන් ඒවා Endolichenic fungi කියලා හඳුන්වනවා. ඒ ඔවුන් ලයිකනයේ පටක තුළ ජීවත් වෙන නිසායි
දැන් අපිට මතුවෙන ප්‍රශ්නයක් තමයි “එහෙනම් ලයිකනයක් කියන්නේ කුමන ජීවියාද?” කියන එක. මේක සරල ප්‍රශ්නයක් නෙවෙයි.
පරණ ක්‍රමයට අපි කළේ ලයිකනයේ ප්‍රධාන දිලීරය හඳුනාගෙන, ඒක මත පදනම්ව ලයිකනය නම් කිරීමයි. නමුත් ඒ ජීවියා තුළ බහු ජීවීන්ගේ ජානමය සහ පාරිසරික සම්බන්ධතා ජාලයක් තියෙනකොට ලයිකනය නම් කරන්නෙ කොහොමද?
මෙතනදී විද්‍යාවේ තවත් රසවත් වචනයක් අපට හමුවෙනවා. 'Holobiont" සරලව කිව්වොත්, එක් ප්‍රධාන ජීවියෙකු සහ ඔහු සමඟ දිගුකාලීන සම්බන්ධතාවක ජීවත් වන අනෙකුත් ක්ෂුද්‍ර ජීවීන් සියල්ල එකට සලකා බලන ජීව විද්‍යාත්මක ඒකකයක් විදියට Holobiont කියන සංකල්පය භාවිතා කරනවා.
මේ අදහස ලයිකන සඳහා විශේෂයෙන්ම ගැලපෙනවා. මොකද ලයිකනයේ දිලීරය, ප්‍රභාසංස්ලේෂක සහකරු, බැක්ටීරියා සහ අනෙකුත් ක්ෂුද්‍ර ජීවීන් අතර සම්බන්ධතා හුදෙක් “එකට සිටීමක්” පමණක් නොවෙන නිසයි. ඔවුන්ගේ පෝෂණය, වර්ධනය, රසායනික ක්‍රියාකාරීත්වය සහ පරිසරයට ප්‍රතිචාර දැක්වීම එකිනෙකා සමඟ බැඳීලා තියෙනවා. ඒ නිසා ලයිකනයක් කියන්නෙ කුඩා ජීවියෙක් නෙවෙයි, කුඩා ජීව ලෝකයක්.
ලයිකන බොහෝ විට ජීවත් වෙන්නේ නිරාවරණය වූ ගල්, ආර්ද්‍රතාව අඩු කාන්තාර, හිමෙන් වැසුණු ප්‍රදේශ, ආක්ටික් තුන්ද්‍ර, ඉහළ කඳුකරය, පෝෂක ඉතා අඩු පෘෂ්ඨ වගේ අනෙකුත් ශාක වලට ඉතා අහිතකර පරිසරවලයි. ඒ වගේ තැනක සාමාන්‍ය ශාකයකට වර්ධනය වෙන්න අමාරුයි. නමුත් ලයිකනය එහි නිහඬව වර්ධනය වෙනවා.
ඒකට පසක් අවශ්‍ය වෙන්නෙ නෑ. ගසක් අවශ්‍ය වෙන්නෙ නෑ. පෝෂක බහුල පරිසරයක් අවශ්‍ය වෙන්නෙත් නෑ. ඒකට වර්ෂාවක් ලැබුණු විට ජලය උරාගෙන ක්‍රියාකාරී වෙන්න පුලුවන් වගේම, වියළි කාලයකදී තම පරිවෘත්තීය ක්‍රියාකාරකම් දැඩි ලෙස අඩු කරමින් නැවත වැසි ලැබෙන තුරු බලා ඉන්නත් පුලුවන්. මේක ලයිකනයේ අතිවිශිෂ්ට survival strategy එකක්.
නමුත් මේ හැකියාවට පිටුපසින් ඉන්නේ එක් ජීවියෙකුගේ බලය පමණක් නෙවෙයි, සහජීවී පද්ධතියේ සමස්ත ක්‍රියාකාරීත්වයයි. 2026දී Nature Communications හි පළ වූ පර්යේෂණයක් මේ සංකීර්ණ සහජීවනයේ තවත් අමුතු පැත්තක් පෙන්වා දුන්නා. Xanthoria parietina නම් ලයිකනය අධ්‍යයනය කරමින් පර්යේෂකයන් දිලීර සහකරු සහ ඇල්ගී සහකරු අතර යකඩ ලබාගැනීම සම්බන්ධ ක්‍රියාවලියක් විමර්ශනය කළා.
යකඩ ජීවීන්ට අත්‍යවශ්‍යයි. නමුත් පරිසරයේ තිබෙන යකඩ සෑමවිටම ජීවීන්ට පහසුවෙන් භාවිතා කරන්න පුලුවන් ආකාරයෙන් පවතින්නෙ නෑ. නමුත් මෙහිදී දිලීරය Siderophore නම් යකඩ බැඳගන්නා අණු භාවිතා කරමින් යකඩ ලබාගැනීමට උපකාර කරන බව පර්යේෂණයෙන් පෙන්වා දීලා තියෙනවා. මේ ක්‍රියාවලිය ප්‍රභාසංස්ලේෂක සහකරුගේ වර්ධනයටත් ප්‍රයෝජනවත් වෙනවා
ලයිකන කියන්නෙ “සහජීවී ආර්ථිකයක” අපූරු උදාහරණයක්. එක් ජීවියෙක් සම්පතක් සොයාගන්නවා. තවත් ජීවියෙක් එයින් ප්‍රයෝජනය ලබනවා. ඒ අතර microbial community එකත් ඒ පද්ධතියේ කොටසක් බවට පත්වෙනවා.
ලයිකනයේ සාමාජිකයන් එකිනෙකා සමඟ කතා කරනවා. නමුත් ඒ අපේ ආකාරයට නෙවෙයි. ඔවුන්ගේ භාෂාව බොහෝවිට රසායනිකයි. ලයිකන විවිධ secondary metabolites නිපදවනවා. Usnic acid, atranorin, parietin වගේ සංයෝග ඒ අතරට ඇතුළත් වෙනවා.මේ සංයෝගවලට UV කිරණ වලින් ආරක්ෂාව, අනෙකුත් ක්ෂුද්‍ර ජීවීන්ට එරෙහි ආරක්ෂාව සහ පරිසරයට අනුවර්තනය වීම වගේ විවිධ භූමිකා තියෙනවා . ඒ නිසා ලයිකනයේ රසායනික ලෝකය හුදෙක් “අතුරු නිෂ්පාදන” එකතුවක් නොවෙයි.ඒක ලයිකනයේ පැවැත්මේ උපක්‍රමයේම කොටසක්.

එහෙම නම් ලයිකනයක් “එක් ජීවියෙක්ද දෙන්නෙක්ද?” නැත්නම් සම්පූර්ණ microbial ecosystem එකක්ද? නවීන පර්යේෂණවලින් පැහැදිලි වෙන්නේ. ලයිකනයක් කියන්නේ සම්බන්ධතා ජාලයක් බවයි
ඒ නිසා ලයිකනයේ සැබෑ කතාව,“දිලීරයක් සහ ඇල්ගීයක් එකට ජීවත් වීම” කියන සරල කතාවකට වඩා දැන් බොහෝ විශාලයි. ඒක එකට ජීවත් වීමට ඉගෙනගත් ජීවීන්ගේ කුඩා ලෝකයක්.
ඉතින්.. ඊළඟ වතාවේ ගසක පොත්තක් මත අළු පැහැති ලයිකන පැල්ලමක් දැක්කොත්, ඒක “ගලක් මත වැඩුණු දිලීරයක්” කියලා හිතන්න එපා. ඒ පුංචි පැල්ලම තුළ හිරු එළිය අල්ලාගන්නා සෛල තියෙන්න පුලුවන්. යකඩ සොයාගන්නා අණු තියෙන්න පුලුවන්. පෝෂක හුවමාරු කරන ක්ෂුද්‍ර ජීවීන් ඉන්න පුලුවන්. එහි රසායනික ආරක්ෂක සංයෝග නිපදවෙනවා වෙන්න පුලුවන්. විවිධ දිලීර හා බැක්ටීරියා එකිනෙකා සමඟ සම්බන්ධ වෙලා ඉන්න පුලුවන්. අපට පෙනෙන්නේ පුංචි පැල්ලමක් පමණයි. නමුත් ඒ පැල්ලම ඇතුළේ සිදුවන්නේ ජීවයේ කුඩා සමුළුවක්.
Timeline Tales ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලදි.